Out-of-1200-solar-applications-no-application-was-approved

රට තුළ විශාල විදුලී අර්බුදයක් ඇති වී තිබියදී සූර්ය කෝෂ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අයදුම් පත් 1,200ක පමණ ප්‍රමාණයෙන් කිසිදු අයදුම් පත්‍රයකට තවමත් අවසර ලබාදී නොමැති බව කුඩා හා මධ්‍ය පරීමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ඉල්ලුම් පත මගින් මෙගාවොට් 4,000කට ආසන්න විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන බවත්,අදාළ ඉල්ලුම්පත් පසුගිය ආණ්ඩු සමයේ සිට මේ දක්වා කාලය තුළ ඉදිරීපත් කර තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.

මීට අමතරව දැනටමත් කර්මාන්තශාල සියයකට ආසන්න ප්‍රමාණයක වහල මත සූර්ය කෝෂ මගින් විදුලිය නිෂ්පාදන කටයුතු සිදුකරන බවත්,

මේ අනුව අදාළ කර්මාන්තශාලාවල වහල මත තිබෙන සූර්ය කෝෂ මගින් වැඩිපුර නිෂ්පාදනය වන විදුලිය ලබාගැනීමටවත් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම කර්මාන්තශාලාවලින් දහවල් කාලයේදී ජාතික විදුලි පද්ධතියට විදුලි ලබාගෙන රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියෙන් කර්මාන්තශාලවලට විදුලිය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.

අයදුම්පත් යොමු කර තිබෙන පිරිස්වලට අදාළ අවසරය ලබාදීමට කටයුතු කළහොත් මාස හයක් තුළ ජාතික පද්ධතියට විදුලිය ලබාදීමට හැකියාව තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර, ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශය වන්නේ, සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා කාලයක් පමණක් බවත් හෙතෙම අවධාරණය කළේය.එහෙත් බලධාරින් වැඩි උනන්දුවක් දක්වන්නේ,

පැය 24 පුරම ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර,

ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට බවත්, මේ නිසා ජනතාවට විදුලි අර්බුදයකට මුහුණුදීමට සිදුව තිබෙන බවත් පවසා සිටි සභාපතිවරයා, මෙම විදුලි අර්බුදය නිසා කාර්මාන්තශාලා පවත්වාගෙන යාම විශාල අර්බුදයක් බවට පත්ව තිබෙන බවද පැවසීය.මෙම අර්බුදය නිසා ඉදිරියේදී විශාල පිරිසකට රැකියා අහිමි විය හැකි බවත්, අපනයන නිෂ්පාදන අඩු වී ඩොලර් ආදායම අඩු විය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ)