Overseas-Sri-Lankans-come-and-invest-in-your-homeland-President
කොළඹ නිදහස් චතුරස්‍රයේදී 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. ඔහු කියූ කතා අතරින් කොටස් මෙසේය.

“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නෑ.”

“රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තුවිය නොහැකි බව අපි දන්නවා. වෙනස්විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නෑ.
අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්.”
“විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නෑ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා.”
“ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නෙමෙයි.

රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වය ලබාදීමට මම හැමවිටම සූදානම්. ලෝකය වෙනස් කරන්නේ අනාගතය දෙස සුබවාදීම සිහින දැකපු අයයි.”
“අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවෙයි. ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්න ඕනේ.”
“පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි ශිල්පීය ක්‍රමයක් ප්‍රගුණ කිරීමට උත්සාහ කළ යුතුයි.”
“දහදිය හෙලන වැඩකරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා.”
“විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපිට විශාල සම්පතක්. අවශ්‍ය විටදී ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණියා.”
“මම ආරාධනා කරනවා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපන් බිමේ ආයෝජනය කරන ලෙස.”
“විචාර බුද්ධියෙන් කටයුතු කරන්න කියා මම මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. දත්ත මත තීන්දු තීරණ ගන්න.”
“මා ලබාදුන් ප්‍රතිඥාව සැමවිටම සුරකිනවා කියා යළිත් මතක් කරනවා.”
“මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය හිස එසවීමට ඉඩ තබන්නේ නෑ.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය උත්සව භූමියට පැමිණීම සැළ කෙරෙමින් හොරණෑ වාදනය සිදු විය. මගුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීය ගායනා කරනු ලැබිණ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික, ගුවන් හමුදාපතිවරු සහ පොලිස්පති ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබූහ.  පාසල් සිසුවියන් “ජයමංගල ගාථා” හා “දේවෝ වස්සතු කාලේන” ගාථාව ගායනය, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවය සහ ජනාධිපති උත්තමාචාරය සිදු කරමින් ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු වූ අතර ඉන් අනතුරුව ජනාධිපතිතුමා ජාතිය ඇමතීය.

රට ඉදිරියේ ඇති අභියෝග ජයගත හැක්කේ ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් වූ කැප කිරීම් සිදු කළ හොත් පමණි. දුෂ්කර කාල සැමදා එ ලෙසම නොපවතී. දුෂ්කර කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. අප වර්තමානයේ මුහුණ දෙන ගැටලු කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවන බව පැවසූ ජනාධිපතිතුමා, සුබවාදී ප්‍රවේශයකින් ගැටලුවලට පිළිතුරු සෙවිය හැකි බව සඳහන් කළේය.

 රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යනවාට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් සෙවීමය. රජය අද අවධානය යොමු කර තිබෙන්නේ ඒ සඳහා බව ජනාධිපතිතුමා පැවසීය.

රටට ආදර්ශයක් වන අයුරින් සැමවිටම කටයුතු කරන ලෙස සියලු මැති ඇමතිවරුන්ගෙන් සහ අනෙකුත් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා, ජනතාවට ඒ ආදර්ශය සපයන විට බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරනු ඇතැයි සඳහන් කළේය.

දිනූ නිදහස අනාගත පරපුර වෙනුවෙන් සුරකින අතර රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවට දුන් ප්‍රතිඥාව සැමවිටම සුරකින බව ජනාධිපතිතුමා අවධාරණ  කළේය. නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කරගත් අභිමානවත් දේශයක් ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සියලු දේශප්‍රේමී ජනතාවට ආරාධනා කළේය.

74 වන ජාතික නිදහස් දින උළෙල කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධානය කර තිබිණ.

යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යභට බලකාය ආචාර පෙළපාලියට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කෙරුණු දැකුම්කලු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, පස්වන විධායක ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කැබිනට් අමාත්‍යවරු, මහ බැංකුවේ අධිපති,  රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවර, මහකොමසාරිස්වරු, ජනාධිපති හා අග්‍රාමාත්‍ය ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු,  රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

( ඡායාරූප :  රොෂාන්ත කිරිවත්තුඩුව , උපුල් නිලංග - ජනාධිපති මාධ්‍ය අංශය )