Prominent-astrologers-wife-escapes

ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිය රවුම් 47ක් සහ රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක්ද සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායැමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලිසිය කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා  කර ඇත.

පවුම් 47ක රත්‍රන් සහ මුදලින් රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න මුදලක් ද සමග තම බිරිය දරුවන් දෙදෙනාද රැගෙන පලා ගොස් ඇතැයි මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යොතිෂ්‍යවේදියකු පැවසූ බව මුල්ලේරියාව පොලීසිය අධිකරණයට  කරුණු ඉදිරිපත් කර තිබිණි.  

වයස අවුරුදු දෙක හමාරක සහ වයස  අවුරුදු එකහමාරක තම දරුවන් දෙදෙනා සිය බිරිය විසින් රැගෙන ගොස් ඇති බව පැමිණිල්ල සඳහන් කර ඇතැයි ද මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, දරුවන් සහ දේපළ රැගෙන යාමට බිරිඳට අයිතියක් නැතිද? යන්නය. එහිදී අධිකරණයට කරුණු  ඉදිරිපත් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම  තැනැත්තිය දේපළ කොල්ලකා පළාගොස් ඇති බවත් මේ වන විට විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කර සිටියේය.

එබැවින් ඇයගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

දරුවන් සහ දේපළ රැගෙන යෑමට නිත්‍යානුකූල බිරියකට අයිතියක් ඇති බවත් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා කරුණු වාර්තා කරන ලෙසට මුල්ලේරියාව පොලීසියට නියෝග කරමින් නඩුව කල් තැබීය.


 -නිමන්ති රණසිංහ (lankadeepa)--