Rohas-brother-in-law-beaten-to-death-in-a-mobile-phone-dispute

ජංගම දුරකතනයක් උකස්කර මුදල් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් පෙරේදා (20) රාත්‍රී හිටපු බන්ධනාගාර නියාමකයෙකු මන්නයකින් කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මොරටුව කල්දෙමුල්ල බෝධිරුක්ඛාරාම පාරේ පදිංචි හිටපු බන්ධනාගාර නියාමකයකු වන 43 හැවිරිදි උවිඳු අසංක ප්‍රනාන්දු නමැත්තෙකු මෙලෙස මරාදාමා ඇත.ඝාතනයට ලක්වූ අසංක නමැත්තා බන්ධනාගාර නියාමකවරයකු ලෙස සේවය කරමින් සිටියදී සේවයෙන් ඉවත්කරන ලද අයකු බවටද පොලිසිය පවසයි.  
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රත්මලාන රෝහණ හැරල් ද සිල්වා හෙවත් ගෝනාකෝවිලේ රොහාගේ මස්සිනා මෙලෙස මියගොස් ඇත.
ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස සැලකෙන ගෝනාකෝවිලේ රොහා කලකට පෙර පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වී තිබුණි.

උවිඳු අසංක ප්‍රනාන්දු ට මන්නයකින් කොටා ඝාතනය කළේ  යැයි කියන 49 හැවිරිදි නලින් නමැත්තකු  මොරටුව ප්‍රදේශයේ සැඟවී සිටියදී ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. මේ අය රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ ඥාති පුතකු බවද පොලිසිය පවසයි.

 
සැකකාර නලින් නමැත්තාට අයත් ජංගම දුරකතනයක් ඔහුගේ ත්‍රිරෝද රථයේ තිබියදී  අසංක නමැත්තා සොරකම් කර එම ජංගම දුරකථනය රුපියල් 1,500 ක මුදලකට උකස්කර තිබෙන බව පොලිසිය කීය.  
ජංගම දුරකථනය උකසට ගත් අය දුරකථනය ක්‍රියාත්මක කර බැලීමේදී අයිතිකාර නලින් නමැත්තාගේ (සැකකරු) ඡායාරූපයක් දැක ඒ බව නලින් නමැත්තාට දන්වා ඇති  අතර ඔහු හිටපු බන්ධනාගාර නියාමක උවිඳු අසංක නමැත්තාගෙන් ඒ පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි.



දුරකථනය සම්බන්ධයෙන් මරණකරු හා සැකකරු අතර ගැටුම් ආරම්භවී ඇති අතර හෙරොයින් භාවිතයට අධිකව ඇබ්බැහි වූවෙකු බව කියන මරණකරු ජංගම දුරකථනය සොරාගෙන ඇතැයි යන ආරවුල මත එම ප්‍රහාරය එල්ලවී ඇතැයි මූලික විමර්ෂණයේදී හෙළි වූ බව පොලිසිය කියයි. මන්න ප්‍රහාරයට ලක්වූ රොහාගේ මස්සිනා කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටී සිට ඇති  අතර එම අවස්ථාවේ ඔහු රෝහල් ගත කිරීමට  කිසිවකු ඉදිරිපත් නොවීම නිසා රෝහලට  ගෙනයාම ප්‍රමාදවී ඇති බව පොලිසිය පවසයි.  පසුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු මියගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.