Shemara-in-Sri-Lanka-earns-more-than-the-Prime-Minister-of-Australia

ලංකාවේ වැඩිම වැටුපක් ගන්නා නිලධාරියා කවුදැයි යනුවෙන් ප්‍රශ්නයක් ඇසුවොත් ඒ ප්‍රශ්නයට කවදාවත් උත්තරයක් නොලැබෙන බව සහතිකය. ඒ ලංකාවේ කවුරු කවුරුත් සිය පඩිනඩි හංගන නිසාය. අඩුම තරමේ සැමියා බිරියටත් බිරිය සැමියාටත් තමන්ගේ පඩිය කියන සිරිතක් ලංකාවේ නැත. ඒ කතා කෙසේ වෙතත් ඉහළම ආදායමක් උපයන ව්‍යාපාරිකයන් ගැන කියැවෙන විට නම් ධම්මික පෙරේරා, හැරි ජයවර්ධන, අශෝක් පතිරගේ වැනි ප්‍රකට නාම අපේ සිහියට නැගේ.

එනමුත් ෂෙමාරා වික්‍රමනායක යනුවෙන් කී විට ධම්මික පෙරේරා තරම් ඇය ගැන ලාංකිකයන් දන්නේ නැති බව සහතිකය. එහෙත් ඇය ගැන නම් ලංකාවට සැතපුම් දහස් ගණනක් දුරින් වූ ඔස්ට්‍රේලියාවේ කොයි කවුරුත් වුවත් දනිති. දැන් ඇය ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ පිට පිට දෙවතාවක් ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන නිලධාරිනිය ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටීම නිසාය.

ඒ ඇය සම්බන්ධයෙන් ‘CommSec’ නම් ඔස්ට්‍රේලියාවේ විශාලතම අන්තර්ජාල කොටස් තැරැව්කාර සමාගම විසින් හෙළිදරවුවක් කර තිබුණි. ඒ ”ඩොලර් දෙසීයක් සාක්කුවේ තබාගෙන ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික දියණියක් දැන් ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා වෙලා තියනවා.” කියාය.



ලංකාවේ පියකුට දාව ලාංකික මවකට ඉපදුනු ඈ ‘CommSec’ සමාගමේ නිල දත්ත ප්‍රකාශයට අනුව ගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන දාසයකට වඩා වැඩි වැටුපක් ගෙන තිබුණි. එය එරට අගමැති ස්කොට් මොරිස් ලබන වැටුපටත් වඩා වැඩි වැටුපකි. එනම්, ඔස්ට්‍රේලියානු අගමැතිවරයාටත් මසකට ලැබෙන්නේ ඇමරිකන් ඩොලර් පන්ලක්ෂ හතළිස් නමදහස් දෙසිය පනහක මුදලකි.

මෙලෙස ඔස්ට්‍රේලියාවම උඩුකටිකුරු කළ ෂෙමාරා 2019 වසරේ දී තවත් එක් ජයග්‍රහණයක් ලබාගෙන තිබුණි. ඒ ඔස්ට්‍රේලියාවේ වැඩිම ආදායමක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා වූ පළමු කාන්තාව වෙමිනි. මෙම ජයග්‍රහණයන් සමග ඇය කවුරුන්ද කියා සෙවීමට මුළු ලෝකයක්ම පෙලඹුණි. ඇය ලෝක පුජිත මොනෑෂ් සරසවියේ දී සම්මානයට පාත්‍ර වූ වෛද්‍ය රජිත් වික්‍රමනායකගේ සහ මහාචාර්ය අමරා වික්‍රමනායකගේ බාල දියණිය බව ලෝකයම දැන හැඳින ගත්තාය.

වසර හතළිස් හයකට පෙර දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වික්‍රමනායක පවුල 1958 වසර තෙක් ජීවත් වුයේ කොළඹය. වෘත්තීය නීතිඥයන් බිහිකරන පවුලක් ලෙස විකුමනායක පවුල ලංකාවේ ප්‍රචලිත වුවත් තමන්ගේ කැමැත්ත වුයේ වෛද්‍ය වෘත්තියට බව වෛද්‍ය රජිත් වික්‍රමනායක වරෙක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබුණි.

මේ නිසා ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්වූ ඔහු 1958 වසරේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා යන්නේය. ඒ බිරිඳ වන අමරා වික්‍රමනායක සමගිනි. එහිදී, ලන්ඩන් විශ්වවිද්‍යාලයට පිවිස සිය අධ්‍යන කටයුතු හමාර කරන රජිත් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සුදුසුම ස්ථානය ලෙස තෝරාගත්තේ එංගලන්තයයි. ඒ නිසාම අමරා සමග ලන්ඩනයේ කුලී නිවසකින් සිය ජිවිතේ අලුත් පරිචය ලිවීමට ඔහු පටන් ගත්තේය. මේ අලුත් පරිචයට පළමු පය තැබුවේ රොෂානා සහ ෂෙමාරා යන දියණියන් දෙදෙනාගේ ආගමනයත් සමගයි.

දියණියන් දෙදෙනාත් සමග වසර තුනකට අධික කාලයක් එංගලන්තයේ ගත කළ ඔවුන්ට යළිත් වරක් ලංකාවට යාමට වූයේ පවුලේ සමීපතමයකු අතින් සිදුවූ වරදක් නිසාය. ඒ ෂෙමාරාගේ මුත්තණුවන්ව මුදල් පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවකට එංගලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගයි. එයට දඬුවම් විඳීමට වූයේ ෂෙමාරාගේ පවුලටය. ඒ නිසා එංගලන්තයේ කීර්තිමත් වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමින් සිටි රජිත් වික්‍රමනායකට තවදුරටත් එංගලන්ත වාසීන්ට මුහුණ දීමට නොහැකිවිය. එහෙයින් පෙරළා ඔහු සිය දරුපවුල සමග ලංකාවට පැමිණියේය.

එසේ පැමිණි රජිත් කොළඹ මහ රෝහලේ උපදේශක වෛද්‍යවරයකු ලෙස සේවය කළ අතර දියවැඩියාව සම්බන්ධයෙන් වූ විවිධ පර් යේෂණයන් කළේය. මේ අතරවාරයේදී ඔස්ට්‍රේලියානු රජය මගින් බෝනොවන රෝගයන් පිළිබඳව පර් යේෂණ කරන පර්යේෂකයන්ට සිය රටට පැමිණෙන ලෙස ඔවුන් විවෘත ආරාධනයක් කර තිබුණි.

නමුත්, එකල වෛද්‍ය රජිතගේ බිරිය දරු ප්‍රසූතියකට සුදානම්ව සිටි නිසා ඔවුන්ගේ ගමන තවත් ටික කාලයට ප්‍රමාද කිරීමට ඔවුන්ට සිදුවිය.

වයස අවුරුදු දාහතරක් වනතෙක් විශාකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ෂෙමාරා, විහාකාවට ආයුබෝවන් කියා ඔස්ට්‍රේලියාව බලා පිටත්වන්නීය. ඒ සිය පියාවූ වෛද්‍ය රජිත් වික්‍රමනායකට ලංකාවේදී එල්ල වූ විවිධ තාඩන පීඩනයන් නිසා බව ඈ විටෙක මාධ්‍ය වෙත පවසා තිබුණි. මේ අඳුරු කාලපරිච්ඡේදයත් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔවුන්ගේ අතේ රැඳී තිබුණේ ඩොලර් දෙසියයක පමණ මුදලකි. එයින් කොටසක් වියදම් කර සිඩ්නි නගරයට ආසන්නයේ පිහිටි කුඩා කුලී නිවසක් මිලදී ගැනීමට ඔහු තීරණය කළේය.

පසුව, ෂෙමාරාව සහ ඇයගේ සොයුරියව අඩු ආදායම්ලාභින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන ඔස්ට්‍රේලියාවේ ඇෂම්ස් පාසල වෙත ඇතුළත් කෙරිණි. මෙසේ සිය අධ්‍යාපන කටයුතු ඇරඹු ෂෙමාරා සිය වැඩිදුර අධ්‍යාපන සඳහා 1985 වසරේදී නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත්විය. එහිදී, වාණිජවේදී උපාධිය සහ නීතිවේදී උපාධිය හැදෑරුවාය. තවදුරටත් අධ්‍යාපනය ලැබීමේ ආසාවෙන් සිටි ෂෙමාරා 1996 වසරේදී හාවඩ් කළමනාකරණ පාසලට ඇතුළත්වී සිය කළමනාකරණවේදී උපාධිය අවසන් කළාය.

ඇයගේ වැඩිමහල් සොහොයුරිය රොෂානා ඔස්ට්‍රේලියාවේ නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති නීතිඥවරියක් බවට පත්වුවාය. ඒ අතර බාල සොහොයුරා ප්‍රියාන් ශල්‍ය වෛද්‍යවරයකු ලෙස බෝරල්හි දකුණු හයිලන්ඩ්ස් පෞද්ගලික රෝහලේ සේවය කරන්නේය.

සිය පළමු රැකියාවට ෂෙමාරා පිවිසෙන්නේ 1987 වසරේදීය. ඒ Macquarie Group සමාගමේ නීති උපදේශකවරියක් ලෙසිනි. පසුව, ඇය නවසීලන්තයේ Macquarie හි ආයතනික උපදේශන කාර්යාලයේ ප්‍රධානියා වී Macquarie ආයතනයට අනුබද්ධිතව හොංකොං සහ මැලේසියාව යන රටවල උපදේශක කාර්යාල පිහිටුවීමටත් ඈ මූලික වූවාය.

මෙලෙස වසර විස්සකට අධික කාලයක් Macquarie Capital සමාගමේ සේවය කළ ඇයට 2008 වසරේදී එම සමාගමේ කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස උසස් වීමක් ලැබුණි. ඇයගේ කාර්යශුර ක්‍රියාකලාපය දෙස බලාසිටි Macquarie Capital සමාගමේ ප්‍රධානින් ඇයට ඉතාමත් වගකීම් සහගත භාරධුර කර්තව්‍යයක් පවරන්නට තීරණය කළහ. ඒ වත්කම් කළමනාකරණ අංශයේ ප්‍රධානියා යන භාරදුර වගකීමයි.

මෙහි වගකීම සිය කරට ගනිමින් Macquarie Capital ආයතනය ඔස්ට්‍රේලියාවේ පමණක් නොව මුළු ලෝකයේම කැපී පෙනෙන සමාගමක් බවට පත්කිරීමට ඈ වෙහෙසුනාය. දිවා රෑ නොබලා සේවය කළ ඇයට යම් මොහොතකදී සිය පවුල පවා මග හැරුණු බව ඈ පවසන්නීය.

‘‘Macquarie Capital සමාගමේ කළමනාකරණ අංශයේ ප්‍රධානියා වෙනකොට මම දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. මගේ මහත්තයා තමයි ඉඩ් ග්ලිල් මාර්ටින් කියන්නේ. ඔහුත් මා සමග Macquarie Capital ආයතනයේ සේවය කළේ. මම අවුරුදු තිහකට ආසන්න කාලයක් Macquarie Capital ආයතනයට මගේ සේවය දුන්නා. ඒක රැයක් දවාලක් කියලා වෙනසක් නැහැ.

මම උපරිම කැපවීමෙන් වැඩ කළා. ඒ නිසා එක්තරා මොහොතක මගේ පවුලේ සාමාජිකයන් මට මග හැරුණා. ඒ වෙලාවේ මගේ මහත්තයා මට ශක්තියක් වුණා. එයා ගෙදර ඉඳලා අපේ දරුවෝ දෙන්නව බලාගත්තා. පවුලේ සම්පුර්ණ වගකීම ගත්තේ එයා. අදටත් මගෙයි දරුවන්ගෙයි සෙවණැල්ල වගේ ඉන්නේ එයා තමයි.” කියා ෂෙමාරා මේල් ඔන්ලයින් වෙබ් අඩවියට පවසා තිබුණි.

මෙසේ වගකීම් රැසක් දෝත දරා පැමිණි ෂෙමාරාගේ ස්වර්ණමය වසර උදාවන්නේ 2018 වසරේදීය. ඒ Macquarie Group හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිකොලස් මුවර් විශ්‍රාම යාමත් සමගිනි. ඔහුගෙන් හිස්වන හිඩැස පිරවීමට ආයතනයේ සිටින සුදුසුම තැනැත්තා වන්නේ ෂෙමාරා වික්‍රමනායක බව අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කළහ. ඒ අනුව හයවන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ෂෙමාරා වික්‍රමනායක සම්බන්ධ විය. එමෙන්ම, එය Macquarie Group හි ඉතිහාසයේ පළමු විධායක නිලධාරිනියද වන්නීය. ඔස්‍්ට්‍රෙලියාවේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් දුන් සමාගම ලෙස හඳුන්වන Macquarie Group ආයතනය ට ඇය ලද පත්වීමත් සමග එරට ඇය දැන් හඳුන්වන්නේ ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය නම් නෞකාව හසුරවන කප්පිත්තිය ලෙසය.

හර්ෂණී දිසානායක  (sathi aga aruna)