The-fence-was-cut-off-and-the-limbs-were-cut-off-with-a-saw

මහනුවර කටුගස්තොට පොලිස් බලප්‍රදේශයට අයත් හමංගොඩ ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුර දිග  යාමෙන් 30 හැවිරිදි තරුණයකු ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා ඝාතනය කර ඇතැයි කටුගතොට පොලීසිය කියයි. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කටුගස්තොට හමංගොඩ ප්‍රදේශයේ ප්‍රසන්න කුමාර නමැති 30 හැවිරිදි තරුණයකු බව  පොලීසිය කියයි.  ඉඩමකට ගසා තිබූ වැටක ඉනි කිහිපයක් ගලවා දැමීමක් සම්බන්ධයෙන් පෙරේදා (30 වැනිදා) උදේ වරුවේ සැකකරුගේ බිරිය සහ මියගිය තරුණයා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත්,  සවස් කාලයේ සැකකරු යාන්ත්‍රික කියතක් ද රැගෙනවිත් මරණකරුට බැණ වැදී ඇති බවත් හෙළි වී තිබේ.




ඒ අවස්ථාවේදී මිදුලට ගිය තරුණයාගේ කකුල සහ අත කපා ඇති බවටත් මූලික පරීක්ෂණවලදී  තොරතුරු අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.  යාන්ත්‍රික කියතෙන් කැපීම නිසා බරපතළ තුවාල සිදු වූ ප්‍රසන්න කුමාර පේරාදෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ නමුත්, රාත්‍රී 10.30ට පමණ මියගොස් ඇතැයි පොලීසිය කියයි. මේ අතර, කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා ඇති වූ ආරවුල සම්බන්ධයෙන් කටුගස්තොට  පොලීසියට පැමිණිල්ලක් කිරීමට පැමිණ සිටියදී ඇති වූ සැකයක් මත සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනය සම්බන්ධයෙන් වූ තොරතුරු හෙළි විණි යැයි ද පොලීසිය කියයි.