මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරය අවස්ථා දෙකකදී කඩා රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් සොරකම් කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ වූ බව කියන තරුණයන් දෙදෙනකු අපරාධය සිදු වී මාස අටකට පසු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මාස ගණනාවක් තිස්සේ යට ගැසී තිබූ එම සිද්ධියේ
සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා අදාළ පොලිස් කණ්ඩායම්වලට නියෝගයක් ද කර තිබුණි. ඒ අනුව මාතර කැකණදුර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු දික්වැල්ල අලු;aගොඩ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදී එම සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින අයකු බව පොලීසිය කියයි. ඉකුත් වසරේ මැයි මස 21 හා ජුනි මස 2 වැනි දිනවලදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ වහලේ උළු කැට කිහිපයක් ගලවා ඇතුළු වී ඇති එම සැකකරු එහි කබඩ් කඩා ලියුම් කවරවල බහා තිබූ මුදල් රැගෙන ගොස් තිබුණි. එම මුදලින් රුපියල් තුන් ලක්ෂ අසූ දහසක් වැය කර ඔහු විසින් මිලදීගෙන තිබූ යතුරුපැදියක් ද රුපියල් විසි දහසක් වැය කර ලබාගත් ජංගම දුරකතනයක් ද පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
තවත් ලක්ෂ දෙකකට වැඩි මුදලක් අලුතින් සාදන නිවෙස ඉදිකිරීමට වැය කර ඇතැයි ද ඉතිරි මුදල් මත්කුඩු භාවිතයට වියදම් කර තිබෙන බව ද අනාවරණය වී තිබේ. ඔහුගෙන් හෙළි වූ තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා සොරකමට ඔහුට ආධාර අනුබල දුන් බව කියන කැකණදුර පදිංචි 25 හැවිරිදි තවත් සැකකරුවකු ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 4,950ක් ද සොයාගත් බව පොලීසිය කියයි.
-ක්‍රිෂාන් ජීවක ජයරුක්-
0 Comments