ඇඹිලිපිටිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක් යතුරුපැදියකින් තංගල්ල හුංගම ප්‍රදේශයට රැගෙන ගොස් අපයෝජනය කළ හමුදා සෙබළකු පෙරේදා (16) අගුණකොලපැලැස්ස ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය පවසයි. 

සැකකාර හමුදා සෙබළා 24 හැවිරිදි වියේපසුවන පුද්ගලයෙකි.සැකකරු නිවාඩු ලබා තම නිවසට පැමිණ සිටියදී වැලන්ටයින් දිනට පසුදින මෙම අපරාධය සිදුකර ඇති බවට පරික්‍ෂණවලදී හෙළිවී තිබේ. දැරියගේ මාපියන් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව දැරියගෙන් ලබාගත් තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එම දැරියට මාර්ගස්ථ අධ්‍යාපනය හැදෑරීම සඳහා මාපියන් විසින් ජංගම දුරකථනයක් ලබාදී ඇති අතර, එම දුරකථන ඔස්සේ සැකකාර සෙබළා සමග අවස්ථා කිහිපයකදී කතාබස් කර ඇති බවත්,



තෙමසකට පසුව එය ආදර සම්බන්ධතාවක් දක්වා දුරදිග ගොස් ඇති බවත් හෙළිවිය. සැකකරු දැරියගේ දුරකථනයට කතාකොට වැලැන්ටයින් දිනට පසු දින ඇඹිලිපිටිය නගරයට එන ලෙස දැරියට දන්වා ඇති අතර දැරිය තම මාපියන්ට උපකාරක පන්තියකට සහභාගිවීමට අවශ්‍ය බව පවසා නිවසින් පිටත්වී ඇති බවත්, ඇඹිලිපිටිය නගරයට යතුරුපැදියකින් පැමිණ ඇති සැකකරු දැරිය රවටාගෙන තංගල්ල, හුංගම මුහුදු වැල්ලේ පාළු ස්ථානයකට රැගෙන ගොස් අපයෝජනය සිදුකර ඇති බවත් පරිමාවලදී අනාවරණය විය.

දැරිය නිවසට ගිය අවස්ථාවේ සිට දැඩි කනස්සලු ස්වභාවයෙන් පසුවීමත් වෙනදා ඇයගෙත් දකින්නට ලැබෙන සාමාන්‍ය ගති පැවැතුම්වලට වඩා හාත්පසින්ම අසාමාන්‍ය හැසිරීමක් දැකීම හේතුවෙන් දැරියගේ බෑගය පරික්ෂා කිරීමේදී උපත්පාලන ඖෂධයක් බවට සැකකරන පෙති වර්ගයක් තිබී සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් දැරියගෙන් ආගිය තැන් ගැන ප්‍රශ්ණ කිරිමේදි මෙම අපරාධයේ සුලමුල හෙලිවුණාදැයි දැරියගේ මව සිදුකළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.



එම දැරිය වෛද්‍ය පරික්‍ෂණ සදහා රෝහල්ගත කර ඇති අතර, සැකකාර යුද හමුදා සෙබළඅධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක තිලක් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ උපපොලිස් පරික්‍ෂක  ඒ. ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.