arundika-son-awinda-randila-jehan

රාගම වෛද්‍ය පීඨ පිරිමි නේවාසිකාගාරයට ඇතුළුව වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් මේ වනවිට ඇමති පුතු 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු  6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ජනපති නියෝගයෙන්  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු සිය තනතුරින් තාවකාලිකව ඉවත්වී තිබේ. මේ ප්‍රහාරය සිදු කර තිබුනේ රාජ්‍ය ඇමතිවරයා භාර පොල් සංවර්ධන අධිකාරියේ වාහන හා එහි සේවකයින් යොදවා වන අතර රාජකාරී නොවන කටයුතු සඳහා වාහන සැපයීම මත සභාපතිවරයාද ඉවත්කිරීමට ජනපති උපදෙස් දී ඇත.
මේ ගැන සිදු කරන ගවේෂණය අනුව වාර්තාවී ඇති අලුත් තොරතුරු මෙසේය.

ඉකුත් පළමු වැනිදා මෙම පීඨයේ සිසුන් අතර අභ්‍යන්තර ගැටුමක් හටගෙන එය සමථයකට පත්ව තිබිණි. නමුත් එම
ගැටුමින් පසු තෙවන වසරේ සිසුවකු වන මීගමුවේ පදිංචිකරුවකු වන යොහාන් කනිෂ්ක පරණවිතාන උත්සාහ දරා ඇත්තේ පිටස්තර පුද්ගල කණ්ඩායමක් සමඟ පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරයට පැමිණ සිවුවන වසරේ සිසුවකු හට පහර දී පලියක් ගන්නටය.

මෙම ගැටුමට මුල නවක වදයක් නොවන බවද පැවසේ.

සිදුවීම වූ දින දහවල් සිවුවන වසරේ සිසුන් තුන්වන වසරේ සිසුන්ට අවවාද කිරීමේ සිදුවීමක් ගැන වාර්තාවේ. පහරදීම සැලසුම් කළ සිසුවා එම ස්ථානයේ සිට නැති අතර ඔහු නේවාසිකාගාර සිසුවෙකු නොවූ බව පැවසේ. අවවාද ඇසූ අයගේ උසිගැන්වීම අනුව එම සිසුවාගේ චණ්ඩිකම් රඟ දක්වන්න පිරිසක් සමඟ පැමිණි බව කියැවේ.  ඒ සඳහා තම රෝයල් පාසලේ ඇමති පුතා ඇතුළු මිතුරන් තොරාගෙන තිබේ.
සාමාන්‍යයෙන් නේවාසිකාගාරයේ ගේට්ටුව ඉබියතුරු දමා ලොක් කරන්නෙ නැති බව නේවාසිකාගාර ආරංචි පවසයි. රාත්‍රියේ එක්වරම 15ක් පමණ වාහන දෙකකින් ඇතුළට ආ බව කියවේ. බේස් බෝල් පිති, නංචක්කු වැනි දේවල් ඒ අයගේ අතේ තිබී ඇත. ආපු අය නිරෝෂන් නයන තරංග සිසුවාට පහර දීමක් සිදුකර වාහනයට ඇදගෙන යන්නට උත්සාහ දරා තිබුණි. ඒත් එක්කම අනෙක් සිසුන් එම ස්ථානයට එකතු වී ගැටුම්කාරි තත්ත්වයක් උදාකර තිබේ. මේ අතර පිරිසක ගැටුම ගැන පොලිසියට දැනුම්දී ඇති අතර පොලිසිය පැමිණෙද්දී පිරිස පැනගොස් තිබේ.එක්කෙනෙක්ට යාමට බැරි වුයේ පිරිසට කොටුවූ නිසාය. ඔහු අල්ලා පොලිසියට බාර දෙන ලදි.


එම ප්‍රහාරයෙන් වෛද්‍ය සිසුන් සිවුදෙනකු ඇතුළු පස්දෙනකු තුවාල ලැබූහ. තුවාල ලැබූ සිසුන් සිවුදෙනාගෙන් තිදෙනකු රාගම ශික්ෂණ රෝහලට ද එක් සිසුවකු සහ සෙසු පුද්ගලයා මීගමුව මහ රෝහලටත් ඇතුළුව ප්‍රතිකාර ගත්හ. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ අනුරාධපුර, ගල්කුලමේ පදිංචි ශානක මධුෂාන්, කුලියාපිටියේ නිරෝෂන් නයන තරංග බණ්ඩාර සහ කෑගල්ලේ විදුෂ නෙත්සර මුදලිගේ යන සිසුන් තිදෙනායි.
සිසුන් බාරයට පත් KI-2376 දරන එම රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් බවට සඳහන් විණි. 32 හැවිරිදි ඩී. කේ. සමරතුංග
රියැදුරාගේ පසුම්බියෙන්ද කරුණු හෙලි විණි.


රාගම පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් දෙකක් දෙවැනිදා රාත්‍රිය වෙද්දී අරුන්දික ප්‍රනාන්දුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන රියදුරු සහ එම පහරදීමට අදාළව පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව අත්අඩංගුවට පත්වූයේ ගැටුමට මුල් වූ තුන්වන
වසරේ සිසු 23 හැවිරිදි යොහාන් කනිෂ්ක සෙනරත් සමඟ වැලිමඩ පදිංචිකරුවකු වන 47 හැවිරිදි මෙනෙරිවත්ත විපුල ලක්සිරි, වැල්ලවත්තෙ පදිංචි 23 හැවිරිදි මොහොමඩ් මවාන් මොහොමඩ්, කඳානේ අයෙකු වන 22 හැවිරිදි පූර්ණ කොඩිතුවක්කු, ගාල්ල පදිංචිකරුවකු වන 32 හැවිරිදි ලක්ෂාන් සඳකැලුම් සහ බණ්ඩාරගම පදිංචි 23 හැවිරිදි දිනේෂ් සඳකැලුම් යන පිරිසයි.

නේවාසිකාගාරයේ, නේවාසික සිසුවකු ද නොවන කනිෂ්ක විසින් නේවාසිකාගාරයට රැගෙනවිත් තිබූ බාහිර පුද්ගල කණ්ඩායමේ අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයටද අයත් කිහිප දෙනෙක් සිටි බව හෙළි විය.
තෙවන වසරේ සිසු කනිෂ්ක රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු සමඟ කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම් ලැබූ ගජමිතුරන් දෙදෙනෙකි. එම මිතුදම අනුව රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ පුත්‍රයා රාගම වෛද්‍ය පීඨ සිසුවකු නොවූවත් එම ප්‍රහාරයට එක්ව සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ
පුත්‍රයා අවින්ද ජෙහාන් ප්‍රනාන්දුද දෙවැනිදා රාත්‍රියේ නීතිඥයකු සමඟ පැමිණ රාගම පොලිසියට බාර වීමත් සමඟ අත්අඩංගුවට පත් විණි. ඔහු එම ප්‍රහාරයට පැමිණි CAM - 8008 දරන බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගි රථය කළුබෝවිල ප්‍රදේශයේ තිබියදී පොලිස් බාරයට ගැනිණි. එම රථය කළුබෝවිල පදිංචි අයකුගේ නමට අයත් වූවක් වන අතර කුලී පදනම මත රථවාහන ලබා දෙන ආයතනයකට ලබා දී තිබූ
බවට හෙළි විණි.

මෙම ගැටුමට මුල් වූ තෙවන වසරේ සිසු කනිෂ්කගේ දෙමාපියන්ද වෛද්‍යවරුන‍්ය. ඔහුගේ මව මීගමුව  රෝහලේ වෛද්‍යවරියක වන කේ. ඩී. සී. පරණවිතාන මාධ්‍යයට කීවේ,

“එදා මගේ පුතා පාටියකටයි ගියේ. ඒ අවස්ථාවේ එයාට පහරදීමක් වෙලා තියෙනවා. පුතා පළමු වසරේ සිට නවක වධයට එරෙහිව ක්‍රියා කරපු කෙනෙක්.

පළමු වසරේදීත් පුතාට පහර දුන්නා. මට කියන්න තියෙන්නෙ මේ සිදුවීම හෝ පාදක කරගෙන විශ්වවිද්‍යාලවලින් නවක වධය තුරන් කිරීමට පියවර ගන්නා ලෙසයි.“

එම වෛද්‍යවරිය මෙකී සිදුවීම නවක වධය මත සිදුවූවක් ලෙස හුවා දැක්වීමට තැත් කළත් සිසුන්ගේ ගැටුමට මුල් වූයේ නවක වධය නොවන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය දන්වා ඇත.

තම පුත්‍රයාද ඈඳුණු වෛද්‍ය සිසුන්ගේ ගැටුමේ විමර්ශනවලට අදාළව නිසි පරීක්ෂණයක් සිදුවන තුරු තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා දින නිවේදනය කළේය.
සැකකරුවන් වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ගැටුමට මුල් වූ සිසුවාද තවදුරටත් පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.