කන්තලේ අග්බෝපුර පොලිස් වසමට අයත් පේරමඩුව ගම්මානයේ නිවසකට කඩාවැදී 15 හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව අග්බෝපුර පොලිසිය පවසයි. මෙම 17 හැවිරිදි තරුණයා පාසල් සිසුවියගේ පෙම්වතා බවද කියති. මෙසේ ඝාතනය කර ඇත්තේ එන්.පී. කාව්‍යයා පතිරංගනා (අවු. 15) නමැති පාසල් සිසුවියකි. අත්අඩංගුවට ගත් සැකකරු අග්බෝගම ගම්මානයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. පාසල් සිසුවියගේ නිවසට කඩාවැදී ඇයට දිගට හරහට පිහියෙන් ඇන්න බව කියන තරුණයා එම පිහියද රැගෙන පේරමඩුව කැලෑවට පළාගොස් සිටියදී ඔහුගේ (සැකකරුගේ) ඉදිරියට වල් අලියකු පැමිණ ඇති බවත් අලියා දුටු සැකකරු ඝාතනයට යොදා ගත් පිහියද රැගෙන ඌ ඉදිරියට ගොස් ඇස් දෙක පියා ගෙන සිටගෙන සිටි බවත් පොලිසිය පවසයි.
මොහු (සැකකරු) දුටු වල් අලියා ආපසු හැරී කැලෑවට පලාගොස් ඇති බවත් කියති. පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සැකකරු එම සිද්ධිය පොලිසියට හෙළි කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය. වල් අලියා ඉදිරියට ගොස් උගේ පහරදීමෙන් මියයාමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව සැකකරු දුම්රියට පැන සිය දිවි නසා ගැනීමේ අරමුණින් අග්බෝපුර දුම්රිය ස්ථානය අසලට ගොස් - දුම්රියක් එනතෙක් රැඳී සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ අවස්ථාවේ මව මතක්වූ බව කියන සැකකරු ඔහුගේ කලිසම් සාක්කුවේ බහා තිබූ ජංගම දුරකථනය රැගෙන තමා සිය දිවි නසා ගන්නා බව දැනුම්දීමට මවට ඇමතුමක් ලබාගෙන ඇති බව කියති. ඇමතුම ලබාගෙන ඇත්තේ සැකකරුන්ගේ සහෝදරයකු වන අතර ඔහුට මේ බව කියා සිටි අවස්ථාවේ කාව්‍යයා මියගොස් ඇති බව පවසා උපක්‍රමශීලී ලෙස සිය මල්ලීව (සැකකරු) නිවසට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය කීය.
නිවසට ගෙන්වාගත් මල්ලීව පිහිය ද සමග අග්බෝපුර පොලිසියට කැඳවාගෙන පැමිණ බාරදීමෙන් පසුව 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකරුගේ සහෝදරයාද (අයියා) මෙම තොරතුරු හෙළි කළ බවද පොලිසිය සඳහන් කරයි. පිහි පහරකෑ සිසුවිය කන්තලේ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.
දඹුල්ල රෝහලේ දී කරන ලද පී.සී.ආර්. ද පරීක්ෂණයේදී මෙම සිසුවියට කොරෝනා වයිරසය ඒ ආසාදනය වී නැති බව තහවුරු විණි යැයි පොලිසිය කීය.
පේරමඩුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවිය මෙම වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත බවද සඳහන් වේ. සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහර 6 ක් පමණ පෙනෙන්නට තිබිණී යැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරු පාසල් සිසුවිය සමග කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට සැකකර මෙසේ සිසුවියට පිහියෙන් ඇන ඇති බවත් පරීක්ෂෂ්ණවලදී හෙළිවී ඇතැයිද පොලිසිය පැවැසීය.ත්‍රිකුණාමලය දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කන්තලේ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක වීරකොඩි මහතාගේ උපදෙස් මත කන්තලේ සහකාර පොලිස් අධිකාරි (01) වනිගසේකර මහතාගේ මෙහෙයුම් යටතේ අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යහම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
0 Comments