The-student-who-went-to-send-a-kite-fell-from-the-building-and-died

සිය නිවසට යාබදව තිබෙන ගොඩනැගිල්ලේ දෙවන මහලට සරුංගලයක් රැගෙන ගිය පාසල් සිසුවකු පෙරේදා (08 වැනිදා) පෙරවරුවේ ඉන් බිමට වැටී බරපතළ තුවාල ලැබ බියගම රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බියගම පොලිසිය පවසයි.  මියගොස් ඇත්තේ මල්වානේ වල්ගම,

කරාබුගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි මල්වාන අල් මුබාරක් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මොහොමඩ් පසල් යුසුප් නමැති 12 හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කියයි.  මේ සිසුවා මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි  අතර ඔහු තනියෙන්ම සිය නිවෙසට යාබදව තිබෙන ගොඩනැගිල්ලට සරුගලයක් රැගෙන ගොස් සිටියදී මේ අනතුරට මුහුණ පා තිබෙන බවද පොලිසීය සඳහන් කරයි.  

මේ පිළිබඳව හදිසි මරණ පරික්ෂණය මල්වාන හදිසි  මරණ පරීක්ෂක අහමඩ් නලින් මොහොමඩ් නුස්රල් මහතා විසින් මෙදිනම සිද්ධිය වූ ස්ථානය නිරික්ෂණය කොට බියගම රෝහලේදී මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

මෙහිදී බියගම පොලිසියේ සැරයන් දුෂාන්ත මහතාගේ (15250) මෙහෙයවීම යටතේ මියගිය සිසුවාගේ මව වන මොහොමඩ් මුබාරක් මස්ලිනා මහත්මිය සාක්කි දෙමින් මෙසේ කීවාය. මියගිය පුතා ගොඩනැගිල්ලට සරුංගලයක් රැගෙන ගියා. ටික වේලාවක් යනවිට ඒ පැත්තෙන් ශබ්දයක් ඇසුණා. ගිහින් බලනවිට පුතා ලේ ගලන තුවාල ඇතිව බිමට වැටී සිටියා. පසුව පුතා බියගම රෝහලට ගෙන ගියා. එහිදී පුතා මියගිහින් බවට දැන ගැනීමට ලැබුණා යැයි කීවාය.  පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එම්.ටී.ඩී. ගුණතිලක මහතා මේ මරණය හිසට හා පපුවට බරපතළ තුවාල වීමෙන් සිදුව ඇතැයි වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කෙළේය. මේ අනුව ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මේ මරණය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.-