The-play-Lansa-changes-begins

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරය දරමින් සිටින මහින්ද හිතවාදී දේශපාලනඥ නිමල් ලන්සා මහතා රජයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට සැරසෙන බවටත් ඔහු ඒ නිසා ඇමති ධූර ආදියෙන් ඉවත්වීමට සියල්ල සූදානම් කර ඇති බවටත් අද දින ජාතික පුවත්පත් රැසක ප්‍රධාන ශිර්ෂ පාඨ ඔස්සේ වාර්තාකර තිබේ.


එහි යාවත්කාල කිරීමක් ලෙස ඇතැම් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ නිමල් ලන්සා ඉවත්වන්නට  සූදානමින් පසුවන බව වාර්තාවීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පැමිණෙන ලෙස ඔහුට දන්වා ඇතත් ඔහු මෙතෙක් ජනපතිවරයා හමුවීමට ගොස් නැති බවකි.


 ඉකුත් මස කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ජනපතිවරයා සැලැසුම් කර තිබූ අවස්ථාවේ දැනට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කරන මහා මාර්ග කැබිනට් අමාත්‍ය ධූරය ඔහුට ලබාදීමට සැලැසුම්කර තිබූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් හේතුව අමාත්‍යංශයේ ඉදිරි සැලැසුම්වලට අදාළ ගිවිසුම් සියල්ලක්ම පාහේ ජොන්ස්ටන් කොන්ත්‍රාත් කරුවන් සමග ගිවිසුම් ගසා තිබීම බවත් වාර්තා විය. එම ගිවිසුම් යට නොකියැවෙන කාරණා වල වාසියක් ලබාගන්නට බැරිව යන නිසා ලන්සා ඊට නොකැමති වූ බව ඇතැම් වාර්තා පළ විය.
මාර්ග සංවර්ධන කටයුතුවලට අදාළ රාජ්‍ය ව්‍යාපෘතිවලදී ඔහුට නිසි සැලකිල්ලක් නොලැබුණැයිද නිමල් ලන්සා ඇමතිවරයා කලක් තිස්සේ කලකිරීමෙන් සිටියේ යැයි ද මාස දෙකක් පමණ ඔහු තම අමාත්‍යංශයට පවා ගොස් නැතැයි ද මේ අතර වාර්තාවී තිබුණි.
රාජකාරිවලට ඇතැම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සහාය නොලැබීම ගැනද ඔහු කලකිරී ඇත.
පසුගිය කාලයේ ‘ගෑස් ප්‍රශ්නය‘ මතුවූ කාලයේ නොබියව ජනතාව පැත්තෙන් සිටගෙන කථාකළ එකම රාජ්‍ය ඇමතිවරයා වූයේද ලන්සාය.


පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුම ලන්සා මහතා හමුවී මෙම ගැටලු විසදීමට උත්සාහ දරා ඇතත් ඒ කිසිවක් සාර්ථක වී නොමැති බවද දැනගන්නට ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත්දා විවෘත කෙරුණු මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස විවෘත කිරීමේ උත්සවයටද රාජ්‍ය අමාත්‍ය ලන්සා සහභාගී නොවුණි.
ඔහු සිය කාර්යමණ්ඩලය අමතා ප්‍රකාශ කර ඇත්තේ තම ආත්ම ගරුත්වය පිළිබඳ සිතා නිහඬවීමට දැන් කාලය එළඹ ඇති බවයි.
අක්‍රමිකතා වෙනුවෙන් පිළිතුරු දීමට විවිධ කොමිෂන් හමුවේ පෙනී සිටීමට තමාට නොහැකි බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඔවුන් හමුවේ පවසා ඇත.
 නිමල් ලන්සා මහතා ඉදිරි දින කිහිපය ඇතුළත විශාල දේශපාලන හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට සූදානමින් පසුවන බවටද මේ අතර වාර්තා පළව තිබේ.


 මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් දේශිය සමාගමක් ලන්සුවකට විශාල ලාභයක් ලැබෙන පරිදි තීරණ ගැනීමෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ද රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය කණස්සල්ල පළ කර ඇති බවද පැවසේ.
ජාතික පුවත්පත් වාර්තා අනුව පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන රජයේ භාණ්ඩ ආපසු භාර දෙන ලෙස ඇමතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.
කෙසේවෙතත් මෙතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලන්සා මහතා විසින් ලබා දී නොමැති බවද වාර්තා වේ.