සියලු මරණවලට පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් මින් ඉදිරියට අවශ්‍ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු අංශ ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ඊයේ (16) නිකුත් කරනු ලැබීය.  



සියලුම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොවිඩ් පරීක්ෂණ වාර්තා මෙයට පෙර අනිවාර්ය කර තිබිණි.  මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පී.සී.ආර්. වාර්තාවක් මගින් ඉදිරියට ලබා ගත යුත්තේ අධිකර වෛද්‍ය නිලධාරිවරයාගේ මරණ පරික්ෂකවරයාගේ හෝ ප්‍රතිකාර කළ විශේෂඥ  වෛද්‍යවරයාගේම අභිමතය අනුව පමණක් බව කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ  සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

මෘත ශරීර නිදහස් කර ගැනීමේදී ජනතාවට විඳීමට සිදුවන අපහසුතා අවම කිරීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මෙම අපහසුතා සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් පසුගිය කාලයේ දී ලැබී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.