අටපිරිකර මිලදී ගැනීමේ මුවාවෙන් විහාරස්ථාන වෙත පැමිණ උපක්රමශීලීව විහාරස්ථානවලින් මුදල් හා අටපිරිකර කොල්ලකෑ අඹුසැමි යුවළක් පෙරේදා (16දා) පස්වරුවේ ආඩිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසයි. 25 හැවිරිදි හා 42 හැවිරිදි වියේ පසුවන සැකකාර අඹුසැමි යුවළ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. පල්ලම පොත්තුකුලමේ නන්දිමිත්ර නවවංගු රාජමහා විහාරයේ විහාරාධිපති පොත්තුකුලමේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ විසින් පල්ලම පොලීසිය වෙත කර තිබූ පැමිණිල්ලක් අනුව තමන් වහන්සේ විහාරස්ථානයේ නොසිටි අවස්ථාවක විහාරස්ථානයට පැමිණි ඇති යුවළක් අටපිරිකරක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා තමන්වහන්සේ නොමැති බව දැනගෙන පන්සලේ සිටි සේවකයා නොමග යවමින් සූක්ෂම ලෙසින් තමන් වහන්සේගේ කාමරයට ඇතුළු වී එහි තිබූ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් සොරාගෙන ගොස් ඇති බව දන්වා තිබුණි.
ඒ අනුව සිදුකළ පරික්ෂණවලදී පන්සලට යුවළක් පැමිණි යතුරුපැදිය සම්බන්ධයෙන් තොරතුරු සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් සිදුකළ පරීක්ෂණවලදී ආඩිගම නගරයේ වෙළද සැලකට අටපිරිකර විකිණීමට පැමිණි යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ. පල්ලම විහාරස්ථානයන් සොරා ගත් මුදලින් රුපියල් 40,900 මුදලක් පොලීසිය සොයා ගෙන ඇත. සැකකාර යුවළ මහකුඹුක්කඩවල, ලිහිණිගිරිය පත්කල, රස්නායකපුර කුරිකුලම පන්සල හා කොබෙයිගනේ පන්සල යන විහාරස්ථානවලටද ගොස් බැංකු කාඩ්පත් හා මුදල් සොරාගෙන පලා ගොස් ඇති බවටත් එසේ සොරා ගත් කාඩ්පත් හා මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.
42 හැවිරිදි සැකකාර කාන්තාව සිය විවාහක ස්වාමි පුරුෂයාගෙන් වෙන්වී 25 හැවිරිදි සැකකරු සමග විවාහ වී ඇති බවත්, ඔවුන් දෙදෙනාම මත්කුඩුවල ඇබ්බැහි වූවන් බවත් පරික්ෂණවලදී අනාවරණය විය. සැකකාර අඹුසැමි යුවළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් පල්ලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගාමිණි සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක උපාලි අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
0 Comments