choca-malli-court

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දැමීම සම්බන්ධයෙන් තමන්ට නියම කළ මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන්නැයි ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ

අභියාචනයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ඊයේ (24දා) දැනුම් දුන්නේය.

මෙම අභියාචනා විභාගය අවසන් කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නිවේදනය කළේය.අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරීයේ මෙම අභියාචනා විභාග කෙරුණි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරීසේන මහතාගේ කහවත්තේ පැවැති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දමා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිල ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් එම චෝදනාවට වරදකරුවන් බවට තීරණය කළ අධිකරණය විත්තිකරුවන් තිදෙනාටම මරණීය දණ්ඩනය නියම කළේය.

රත්නපුර මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා තමන්ට එරෙහිව රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැණි බව සඳහන් කොට තිබිණ.එහෙයින් රත්නපුර මහාධිකරණයේ තීන්දුව අවලංගු කොට සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා තිබිණ.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව එහි තීන්දුව ලබන මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කළේය.


(බුද්ධිමාල් රුබේරු)