dehiwala-zoo

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සම්පත් අවභාවිත කරමින් වසර ගණනාවක සිට එහි සේවකයකු අනවසරයෙන් සතුන් වත්ත තුළ පෞද්ගලික පරෙවි කුඩුවක් පවත්වාගෙන යන බවට තොරතුරක් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් හෙළිවේ. එම සතුන්ට අවශ්‍ය ආහාර, ජලය, කුඩුවට අවශ්‍ය විදුලිය ඇතුළු සියලු පහසුකම් සතුන් වන්නේ සම්පත් වලින් ලබා ගැනීම ප්‍රශ්නයක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.  එලෙස ඇති කරන සතුන්ට දීමට ළග තබාගෙන තිබූ ප්‍රමිතියෙන් ඉහළ ධාන්‍ය ඇට කිලෝ තුනක් ද මෙම සේවකයන්ගේ විවේකාගාරය තුළ තිබී මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශය කළ හදිසි වැටලීමක දී සොයාගත් බව ද එම ආරංචි මාර්ග පවසයි.



සතුන් වත්තේ ආරක්ෂක අංශය මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් නිසි පරික්ෂණයක් කර නොමැති බවත් පැවසේ. සත්වෝද්‍යානයට අයත් තහඩු, දැල් හා යකඩ බට යොදා මෙම පරවි කූඩුව සාදා ඇති අතර එම පරෙවියන්ට අවශ්‍ය ආහාර ජලය ආදිය ද සත්වෝද්‍යානයේ අනෙකුත් පක්ෂීන්ට ලබා දෙන ඒවා වීම ද විශේෂත්වයකි.  රාජ්‍ය දේපලක් හා ජාතික සම්පතක් වන ජාතික සත්වෝද්‍යානය තුළ පෞද්ගලිකව සතුන් ඇති කිරීම, පිටතින් සතුන් ඇතුළට ගෙන ඒම ඇතුළත සතුන් පිටතට ගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් පසුබිමක මෙසේ ඇතිකරන පරෙවියන් පිටතට ගෙන ගොස් රුපියල් 500 සිට 15,000 දක්වා මිල ගණන්වලට අලෙවි කිරීමට පුරුදු වී ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ. මෙවන් සිදුවීමක් මීට මාස කීපයකට පෙර වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන් පරෙවි කූඩුව සත්වෝද්‍යානයෙන් ඉවත් කර ගන්නා ලෙස එම සේවකයාට උපදෙස් දුන් බවයි.

එහෙත් ඔහු මේ දක්වා පරෙවි කූඩුව සත්වෝද්‍යානයෙන් ඉවත් කරගෙන නොමැති බවට වාර්තා වී ඇති බැවින් වහාම එම පරෙවි කූඩුව ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඔහුට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා ශර්මිලා රාජපක්ෂ මහත්මියගෙන් විමසු විට ඇය කියා සිටියේ, මේ දිනවල තමා රාජකාරි කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටින හෙයින් සත්වෝද්‍යානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව මාධ්‍යයට කිසිවක් කිව නොහැකි බවයි.


 - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරන්න-