dematagoda-ruwan

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්" නමැත්තාට අයත්ව

මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී හෝටලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (24) පස්වරුවේදී සිය භාරයට ගනු ලැබ ඇත. චෙකොස්ලෝවේකියානු ජාතිකයකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් මෙම දේපළ සැකකාර දෙමටගොඩ රුවන් නමැත්තා මිලට ගෙන ඇත්තේ

මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු හෙළිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

පර්චස් 100කට ආසන්න භූමි ප්‍රමාණයක පිහිටි මෙම භූමිය මීගමුව මුහුදු වෙරළට මුහුණ ලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් බවත් එය ඉදිවෙමින් පවතින සංචාරක හෝටලයක් (විලා) බවට පත්කරමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පවසයි. මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමූහයකගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර, මෙම භූමියේ හෝ අදාළ හෝටලයේ මන්ද්‍රව්‍ය සගවා ඇත්දැයි සෙවීම සඳහා පොලිස් නිල සුනඛයන් යෙදවූ බව පොලිසිය කියයි.

සැකකාර දෙමටගොඩ රුවන් නමැත්තා නීති විරෝධී අන්දමින් උපයා ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි  79කට අධික බව මේ වන විට හෙළිකරගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 -නිමන්ති රණසිංහ-