ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පැවැත්වෙමින් තිබියදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ  අල්ලා පොලීසියට භාර දුන් සැකකරුවන් දෙදෙනාත් එයට අදාළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති අනෙකුත් සැකකරුවන් වහාම විවෘත අධිකරණයට  ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්‍ෂ මහත්මිය ඊයේ (14දා) සවස නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාර පේලි මහතා මෝසමක් මගින් එම බී වාර්තාව කැඳවා අධිකරණයේ අවසරය පරිදි කරුණු දක්වමින් මෙසේ පවසා සිටියේය.

"ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ජනවාරි 30 වැනිදා කළගෙඩිහේන, ග්ලාස් ගෝව් උත්සව ශාලාවේදී පැවැත්වෙමින් තිබියදී සමුළු භූමියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දහසයදෙනෙකුගෙන් යුතු මැර කල්ලියක් එහි නවතා තිබූ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාරයක් එල්ල කර පැන යාමට උත්සාහ ගත් අවස්ථාවේ එහි සිටි පිරිසක් මැර කල්ලියට අයත් දෙදෙනෙකු අල්ලා නිට්ටඹුව පොලීසියට භාර දුන්නා.

එසේ අල්ලා පොලීසියට භාර දුන් සැකකාර මැරයන් දෙදෙනා පොලීසිය මගින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට එහි අංක 07 වාට්ටුවේ පොලිස්  ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින කිහිපයකට පසුව අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් දෙදෙනා මුදාහැර තිබෙනවා.

බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරීන්ගේ හා ගම්පහ උසස් පොලිස් නිලධාරීන්ගේ බලපෑම් මත එසේ අල්ලා දුන් සැකකාර මැරයන් නිට්ටඹුව පොලීසිය විසින් මුදාහැර තිබෙනවා.  පොලීසිය අධිකරණයද නොමග යැවීමට උත්සාහ කොට තිබෙනවා. එසේ වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර මැරයන් දෙදෙනා පසුගිය දිනක නිට්ටඹුව පොලීසිය විසින් අධිකරණ භූමියටද ගෙනවිත් අධිකරණයට ඉදිරිපත් නොකොට ආපසු රැගෙන ගොස් තිබෙනවා.”

තවදුරටත් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ  නීතිඥවරයා,

"මෙය රටම බලා සිටින සිද්ධියක්. එදා මේ සමුළුවට ආවේ ගම්පහ දිස්ත්‍රික්කයේ වාසය කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, නීතිඥ මහත්වරු, වෛද්‍යවරු, වෙනත් විවිධ වෘත්තිකයන් හා  ව්‍යාපාරිකයන් පිරිසක් එවැනි පිරිසකගේ සහභාගිත්වයෙන් සමුළුව පැවැත්වෙමින්  තිබියදී තමයි මේ බියගුලු බිත්තර ප්‍රහාරය එල්ල කෙරුවේ. මේ තත්ත්වය සලකා බලා සුදුසු නියෝගයක් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය,

"කෝ අල්ලා දුන් සැකකරුවන් දෙදෙනාට මොකද කෙරුවේ.”

නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක කේ.ඩී.පී. අබේරත්න මහතා,

"සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා."

මහේස්ත්‍රාත්ව- "කෝ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් නොකළේ ඇයි.”

පොලිස් ස්ථානාධිපති - "පරීක්‍ෂණ පවත්වා ගෙන යනවා.”

මහේස්ත්‍රාත්වරී- “මොනවද කර තිබෙන පරික්‍ෂණ”

පොලිස් ස්ථානාධිපති - "බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ අල්ලා ගත් පුද්ගලයන්  දෙදෙනාට පහරදුන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

" මහේස්ත්‍රාත්වරී - "කෝ ඒ පිළිබඳ වැඩිදුර වාර්තාව”

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාර පේලි මහතා- "මේ පොලිස් නිලධාරියා උසස් පොලිස් නිලධාරීන්ගේ බලපෑම් මත පැමිණිල්ල විත්තිය කරලා විත්තිය පැමිණිල්ල කරලා තිබෙනවා.



උසස් පොලිස් නිලධාරීන් පැහැදිලිවම මේ පොලිස් නිලධාරින් හට බලපෑම් කර තිබෙනවා. අල්ලා පොලීසියට භාර දුන් සැකකරුවන් දෙදෙනා එක දවසක් හරි රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කළහොත් නිල ඇඳුම් ගලවා පිටව යන්න සූදානම් වෙන්න කියා.අනෙක් පැත්තෙන් ජ.වි.පෙ. සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන මොනවා හරි චෝදනා ගොනු කර නඩු පවරන්න කියා උසස් පොලිස් නිලධාරින් නිට්ටඹුව පොලීසියට බලපෑම් කර තිබෙනවා. එහි පළමු පියවර හැටියට තමයි මේ සිද්ධියේ පැමිණිලිකරුවන් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙන්නේ.

මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර සිටින සියලුම සැකකරුවන් හා පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති අනෙකුත් සැකකරුවන් වහාම විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එසේ මහේස්ත්‍රාත්වරිය නිට්ටඹුව පොලීසියට නියෝග කළාය. මෙම නඩු විභාගය නැවත කැඳවීම මාර්තු මස 07 වැනිදාට කල් තැබිණි.  අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගාමිණී විජේතිලක, තරංග වීරසිංහ, ප්‍රියංකර මාරසිංහ, උදය කුමාර, ලක්දිනු ධීරසේර යන නීතිඥ මහත්වරු හා නීතිඥ උත්පලා දයාරත්න මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාර ජේලි මහතා පෙනී සිටියහ.  නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඕ.පී. අබේරත්න මහතා පොලීසිය වෙනුවෙන් කරණු ඉදිරිපත් කළහ.

-වාරණ ආනන්ද ඉ ජයකොඩි-