සේවක අර්ථසාධක අරමුදල් හා භාරකාර අරමුදල් (EPF/ETF) මත අය කිරීමට යෝජිත 25%ක අධිභාර බද්ද නිසා සේවකයන්ට රුපියල් මිලියන 76,000ක් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි. සේවකයන් ලක්ෂ 26කට මේ නිසා අසාධාරණයක් සිදුව තිබෙන බවත්,

එහෙයින් ආණ්ඩුව ගෙන තිබෙන මෙම තීරණය වහාම හකුළාගත යුතු බවද එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. අදාළ තීරණය අහෝසි කරන ලෙසට ඉල්ලා අද (10) දා සිට ක්‍රියාමාර්ග සිදුකරන බවත්, මේ අනුව පළමු ක්‍රියාමාර්ගය ලෙස අද (10දා) දහවල් 12.00ට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකරන බවත් ඔහු පවසා සිටියේය. මෙම ක්‍රියාමාර්ගයට අනුව ආණ්ඩුව තීන්දුව හකුළාගැනීමට කටයුතු නොකළහොත් සමස්ත පෞද්ගලික අංශ සේවකයන් ඒකාබද්ධ කර ගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාර සහ වැඩවර්ජන සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුව ගෙන තිබෙන තීරණය අවලංගු නොකළහොත් සේවක අර්ථසාධක අරමුදල් රුපියල් මිලියන 69,000ක් සහ භාරකාර අරමුදලේ රුපියල් මිලියන 7000ක් අහිමි වී යන බවද හෙතෙම පවසා සිටියේය. මේ ආකාරයේ මුදල් ප්‍රමාණයක් අධිභාර බද්ද ලෙස ලබාගැනීමට කටයුතු කළහොත් සේවකයන්ට අයත් මුදලින් විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය.


(එච්.අයි. තුෂාර)