galahena-german

නිදහස් දිනයට සමගාමීව ජර්මන් ජාතික යුවළක් ශ්‍රී ලාංකික අඩු ආදායම්ලාභී පවුලකට නව නිවෙසක් ඉදිකර ඉකුත් 05 වැනිදා පරිත්‍යාග කළහ. ජර්මන් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියකු වන ලූට්ස් මලසවොස්කි සහ බාබරා මලසවොස්කි යුවළ විසින් ඉත්තපාන පොලිස් වසමේ  ගොරකදූව ගලහේන ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් ද අල්විස් සහ දිලාණි රේණුකා ඇතුළු දරු පවුලට මෙම නිවෙස පරිත්‍යාග කිරීමට පියවර ගත්හ. වසර 40 කට ආසන්න කාලයක  සිට වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම ජර්මන් ජාතික  යුවළ සංචාරක හෝටල් කළමනාකාරවරයකු වන පත්මසිරි ලියනගේ මහතා සහ බේරුවල ප්‍රදේශයේ හිතවතකු සම්බන්ධ කරගෙන මේ වන විට ශ්‍රී ලාංකික දරු පවුල් 133 කට නව නිවාස ඉදිකර පරිත්‍යාග කර ඇති අතර පෙර පාසල් ගොඩනැගිලි 10 කට ආසන්න ප්‍රමාණයක්  ඉදිකර දී ඇත.



මීට අමතරව ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකට විවිධ ආකාරයේ උදවු උපකාර සිදුකර වෘත්තියෙන් මේසන්වරයකු වන ප්‍රදීප් ද අල්විස් සහ දිලාණි රේණුකා යුවළ තම වැඩිමල් දියණිය වන 10 හැවිරිදි පියුමි මලීෂා සහ 6 හැවිරිදි හංසි මලීෂා බාල දියණිය සමග කුලී නිවෙසක ජීවත් වූ අතර එම යුවළ  විවාහ වී වසර 11  ගතවුණත්, පවතින ආර්ථික අපහසුතා නිසා තමන්ගේම නව නිවසක ජීවත් වීම සිහිනයක් පමණක් වී තිබුණි. මේ අතර පත්මසිරි ලියනගේ මහතාට මෙම දරු පවුල පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව සොයා බලා මේ පිළිබඳව ලූට්ස් බාබරා යුවළට දැනුම් දී  මෙම 133 වන නව නිවෙස ඉදිකර නිදහස් දිනයට සමගාමීව බාර දීමට කටයුතු සංවිධානය කර තිබුණි.

මෙම නව නිවෙස පරිත්‍යාග කරන අවස්ථාවට ගම්මන ශ්‍රී සෝභිතාරාම විහාරාධිපති කුණ්ඩසාලේ  සීවලී නායක හිමියන් වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළ අතර එම අවස්ථාවට ලූට්ස් බාබරා යුවළ සමග ජර්මනියෙන් තවත් හිතවතුන් පිරිසක් පැමිණ සහභාගී වූ අතර ඊට අමතරව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, වලල්ලාවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීප්ති වැලිපැන්න විතානගේ, පත්මසිරි ලියනගේ මහතා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සමග ප්‍රදේශවාසීහු සහභාගී වූහ.

 බන්දු තඹවිට