galgamuwa-elephant-incident

පැල් රැකීමට කුඹුරට යමින් සිටි ගොවියකු වල් අලි පහරදීමකට ලක්ව පෙරේදා (21) රාත්‍රියේ මරණයට පත්ව ඇතැයි ගල්ගමුව නාන්නේරිය  පොලිසිය කියයි.  මෙසේ මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව මහනාන්නේරිය , වන්නිඅමුණුකොළේ ආර්.එච්.එම්. කරුණාරත්න නමැති හැත්තෑ හතර හැවිරිදි තැනැත්තකු වන අතර ඔහු පස් දරු පියකු බව පරික්ෂණවලදී හඳුනාගත් බව පොලිසිය පවසයි. සිය කුඹුරේ ගොයම් වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔහු පෙරේදා (21 වැනිදා) රාත්‍රියේ අටයි තිහට - නමයට පමණ කුඹුරට ගොස් ඇතැයි පොලිසිය කියයි..  ඒ වනවිටත් කුඹුරට කඩා වැදී සිටි තනි අලියකු ගොයම් වගාව විනාශ කරමින් සිට ඇති බවත්, අවට පැල්වල සිටි ගොවීන් ඒ බව  දැනුම් දී ඇති බවත් පොලිසිය කියයි.



වල් අලියා පලවා හැරිමට කෑ කෝ ගසමින් මේ ගොවීමහතා  සිය පැලට ඇතුළුවීමට දුවගෙන යද්දී වල් අලියා ඔහුට පහරදී ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. වල් අලියාගේ පහර දීමෙන් ඔහු ඒ ස්ථානයේම මියගොස් ඇති බවත් පහරදීමෙන් හා පාගා දැමීමෙන් ඔහුගේ සිරුරට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.   පැල් රකිමින් සිටි ගොවීන් දුරකථන මගින් මේ සිද්ධිය ගමට  දැනුම් දී ඇති බවත්, ඒ අනුව පිරිසක් වැන් රථයකින් කුඹුරු යායට යද්දී මේ වල් අලියා ඒ රථයට ඉදිරියට යාමට ඉඩ නොදී  වළක්වමින් ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇති බවත්, පසුව ට්‍රැක්ටරයක් රැගෙන ගමුන් එහි ගොස් ගොවි මහතාගේ සිරුර නාන්නේරිය රජයේ රෝහලට ගෙනැවිත් ඇති බවත් පොලිසිය කියයි.



ප්‍රචණ්ඩකාරීව හැසිරෙන මේ මිනීමරු වල් අලියා මිට පෙරද වින්නිඅමුණුකොළේ මහ අන්දරවැව, වෑවරණවැටිය ගම්මානවල හතර දෙනකු ඝාතනය කොට, තවත් තිදෙනෙකුට ශරිරික හානි කිරිම් සිදු කොට ඇති බව ප්‍රදේශවාසිහු කියති. ගොවි මහතාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ගල්ගමුව බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරික්ෂක ශාන්ත රණවීර මහතා ඊයේ (22)  නාන්නේරිය රෝහලේදී පවත්වනු ලැබීය.නාන්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.අයි.බී. ජයරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ කරයි.