gampaha-sithusara

ගම්පහ නගරයේ පිහිටි "සිතුසර" නමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිළියක් තුළ සී.සී.ටී.වී. කැමරාවක් සවිකර තිබියදී සොයාගත් බව ගම්පහ පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ ඊයේ (17 වෙනිදා) සවස කරුණු වාර්තා කළේය.  වසර 2023 දී අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකගේ පියෙකු විසින් කරන ලද පැමිණිල්ලක්  මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කීය.

පැමිණිලිකරුගේ දියණිය සිතුසර නමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අමතර පන්ති සඳහා සහභාගි වන බවත් එහි වැසිකිළියට ගිය අවස්ථාවේ රූගත කෙරෙන කැමරාවක් වැසිකිළිය තුළ තිබෙනවා දැක ඒ සම්බන්ධව තම මිතුරියන්ට පවසා ඇති බවත් පැමිණිලිකරු කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

පසුව එකී පුද්ගලික අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යනු ලබන අයගේ මව විසින් වැසිකිළිය තුළ තිබූ එම කැමරාව ගලවාගෙන රැගෙන යන අයුරු සිසුවියන් දැක ඇති බවට පසුව එම සිසුවියන් මව්පියන්ව දැනුවත් කර ඇති බවද පොලිසිය කීය. පොලිසියට ලද පැමිණිල්ල අනුව සිදුකළ පරීක්ෂණයේදී  එම ගොඩනැගිල්ල අයිතිය හිමිකරු මෙන්ම එම අධ්‍යපන ආයතනය පවත්වාගෙන යන අයගේ බිරිඳ විසින් එම සී.සී.ටී.වී. කැමරාව පොලිසිය වෙත භාරදී ඇති බව ද අධිකරණයේදී සඳහන් විය. වැසිකිළිය තුළ එම කැමරාව සවිකරන ලද පුද්ගලයා කවුරුන්ද යන්න පැමිණිලිකරු නොදන්නා බවත් දරුවන්ගේ ආරක්ෂාව පතා පැමිණිලිකරු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය කීය.

පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වීය.

එම ගොඩනැගිල්ල හිමිකරු සහ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන අයවලුන් ඇතුළු එම උපකාරක පන්තියට සහභාගි වන සිසු සිසුවියන් රැසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්විය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මෙහිදී  මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.-