garandi-ella-death-covid19

උමා ඔය ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් ගිලී මියගිය පස්දෙනාගෙන් අතුරුදන්ව සිටියදී අවසන් වරට සොයාගත් 22 හැවිරිදි තරුණියට කොවිඩ් වයිරසය ආසාදිත වී ඇති බවට ඊයේ (31 වැනිදා) බදුල්ල මහ රෝහලේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී අනාවරණය විණැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.

ගැරඬිඇල්ලේ ගල් කුහරයක් තුළ සිරවී තිබියදී එම මළ සිරුර සොයා ගැනීමට කටයුතු කළ අම්පාර ඔලුවිල් නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් සිව්දෙනකු සහ එම මළ සිරුර ගොඩට ගෙන රෝහලට ගෙන යාමට කටයුතු කළ මියගිය ඇගේ මව, පියා ඇතුළු පවුලේ හත්දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කරන බව ද ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත රණසිංහ මහතා පැවැසීය.



උමා ඔය ගැරඩි ඇල්ලේ දිය නෑමට ගොස් මෙසේ දියේ ගිලී අතුරුදන්ව සිටියදී පෙරේදා (30 වැනිදා) දහවල් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගනු ලැබුවේ නෙලුවවත්ත ඒ. කිංරෝස් කොටසේ පදිංචිව සිටි සෙල්වකුමාර් සසිප්‍රියා (22) නමැති තරුණියගේ මළ සිරුර බව පොලීසිය කීය.ඔවුන් සිව්දෙනාගේ මළ සිරුරු පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර, ඔවුන් කොවිඩ් ආසාදිත නොවන බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය විණැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

කොවිඩ් වයිරසය ආසාදිත වී සිටි 22 හැවිරිදි තරුණියගේ මෘත දේහය පිළිබඳව අවසන් කටයුතු බදුල්ල මහ නගර සභා ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බවත්, සෙසු සිදෙනාගේ මෘත දේහය බදුල්ල මහ රෝහලේ පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව පවුලේ උදවියට බාර දෙන බවත්, ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ. අපොන්සු, බණ්ඩාරන්වෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහ, පොලිස් අධිකාරි (1) බී.ඇම්.ඇම්. දසනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත, ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඇල්ල ප්‍රසාද් රුක්මල්