homagama-accident

මොරගහහේන - හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී ඊයේ (24දා) අලුයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවුදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මොරගහහේන පොලීසිය පවසයි.  |මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ,

මීවනපලාන, දඹර බට්ටාගල පදිංචිව සිටි කේ.වී. භවන්ත ප්‍රමෝද් (අවු.17) නමැති තරුණයෙකි.රෝහල්ගත කළ පිරිස අතර මෝටර් රථ දෙකේ රියැදුරන් දෙදෙනා සහ මිය ගිය තරුණයාට පිටුපස අසුන් ගමන් ගත් අයෙකු වන අතර, එහි සිටි තවත් පුද්ගලයෙකු බරපතළ තත්වයේ පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට ගොස් යළි දඹර බට්ටාගල නිවස බලා පැමිණිමින් සිටියදී මොරගහහේන යකහලුව වංගුවේදී මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් මොරගහහේත සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇති බව පරිණාවලදී අනාවරණය විය.

අනතුරක් සමගම තරුණයන් ගමන්ගත් මෝටර් රථයේ ඉදිරිපස සිරවී සිටි මියගිය තරුණයා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගත්තද ඔහු ඒ වනවිටත් මිය ගොස් තිබූ බව හෙළිවිය.

අනතුරින් මෝටර් රථ දෙකටම බරපතළ අලාභ සිදු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලීන් සංජීව මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එන්.කේ. ජගත් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)-