'කොවිඩ් 19' වයිරසයට. එරෙහිව ඉන්දියාව නිපදවූ පළමු ඩී.එන්.ඒ. වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත, බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 11 ක වැසියන්ට ලබා දීම මේ වනට ආරම්භ වී ඇත. ‘කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවූ පළමු ඩී.එන්.ඒ. ප්‍රතිශක්තිකරණ එන්නත මෙයයි.
කොවිඩ් 19 වයිරසයේ ඩී.එන්.ඒ ජාන කේතයක් යොදා ගනිමින් මෙය නිපදවා ඇත. ඒ අනුව, දැනට නිපදවා ඇති සෙසු කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ එන්නත්වලට වඩා මෙම එන්නත සාර්ථක වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම එන්නතේ ඇති ප්‍රධානතම විශේෂත්වය, මෙය එන්නත් කටුවක් භාවිත නොකර සිරුරට ඇතුළත් කිරිමය. එය සිදුවන්නේ සම ස්පර්ශ කරන විශේෂ උපකරණයකිනි. මෙම උපකරණය හැදින්වෙන්නේ 'ට්රොපිස්' යනුවෙනි.
පළමු එන්නත් මාත්‍රාව ලබා දී දින 28 කින් දෙවැනි මාත්‍රාව ද ඉන්පසු දින 56 කින් තෙවැනි මාත්‍රාව ද ලබා දීම සිදුවන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ. එන්නත් කටුවක් භාවිතයට නොගැනෙන බැවින්, එන්නත් කටුවලට බිය දක්වන සැමට සුදුසුම එන්නත වන්නේ මෙය බවත්, මෙම එන්නත ලබා දීමේදී කිසිදු ආකාරයක වේදනාවක් ඇති නොවන බවත් එන්නත නිපදවූ ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පිහිටි ‘සයිඩස් කැඩිලා' ඖෂධ සමාගම පැහැදිලි කර ඇත.
‘සයිඩස් කැඩිලා' සමාගම මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවා එය සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගත්තේ 2020 වසරේ දෙසැම්බරයේය. පසුගිය 2021 වසරේ එන්නත සාර්ථක බව ඉන්දීය ඖෂධ පාලන අධිකාරියට දැනුම් දුන් ඒ අවස්ථාවේදී, එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කෙරුණි. ඒ අනුව, එන්නත පසුගිය සෙනසුරාදා (5) සිට බිහාර් වැසියන්ට ලබා දීම ආරම්භ විය. මෙය ඉන්දියාව දේශීය වශයෙන් නිපදවූ දෙවැනි කොවිඩ් 19" ප්‍රතිශක්තිකරණ එන්නතය.
0 Comments