infant-products

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.මෙම පරික්‍ෂණය සඳහා භාවිත කරන ලද බඳුන් 98න් 76කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු තිබෙන බවත්  මේ අතරීන් ඇතැම් බඳුවල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන් කර තිබුණද විද්‍යාගාර පරික්‍ෂණයේදී එය. සාවද්‍ය බව ඔප්පු වී තිබෙන බවද එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. බිස්ෆීනෝල් A (Bisphenol ABPA) යනු පිළිකා කාරකයක් බවත් මිට අමතරව ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා,

පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාව මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටලු ඇති කරන රසායනිකයක් බවද එම නිවේදනය මගින් පෙන්වාදී තිබේ. බොහෝ රටවල මෙය අත්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යනුකුලව හඳුනාගෙන තිබෙන බවත්,

යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධා කරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත. ඇතැම් භාණ්ඩවල BPA රහිත බව ලේබලයේ සඳහන් කර තිබුණත් සමහර භාණ්ඩවල එම රසායනිකය අඩංගු බව තහවුරු වී තිබෙන බවත්, මේ නිසා දෙමවුපියන් තමන්ගේ දරුවන්ට යහපත් දේ ලබාදෙන්න පෙලඹුණත්, වෙළෙඳ සමාගම් ඔවුන් නොමග යවන බවට පැහැදිලි වන බවත් එමගින් පෙන්වාදී ඇත. මේ නිසා අන්තරායකර රසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති සේම ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමට නිසි අධීක්‍ෂණ . ක්‍රියාවලියකුත් අවශ්‍ය බවද එම සංවිධානය සඳහන් කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සකස් කර තිබෙන IPEN ආයතනය විසින් මෙම පරීක්‍ෂණය සිදුකරන ලදී. මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාව සහ ටැන්සානියාව යන රටවල IPEN සාමාජික කණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප, ඊඩින් කප් වැනි ළදරු නිෂ්පාදන නියැදි ලබාගෙන මෙම බඳුන්වලින් කොතරම් BPA ප්‍රමාණයක් අඩංගුද යන්න පරික්ෂා කළ බවද පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

මෙම රසායනික පක්‍ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග්හි පිහිටි, රසායන විද්‍යාව සහ තාක්‍ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටා ඇති. ශ්‍රී රාම් කාර්මික පර්යේෂණ ආයතනය. තුළදී විශ්ලේෂණය කර තිබේ.

(ඉන්දික හේවාවිතාරණ)