kala-otuwagala

දූල්දෙනිය, කලඔටුවාගල කන්දේ සංචාරයකට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකට තර්ජනය කර හිරිහැර කර එම සිදුවීම් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවන් හත් දෙනකු ඊයේ (16) මාවනැල්ල පොලිසියට භාරවූ බව පොලිසිය කියයි.  



කලඔටුවාගල කන්දට නැග භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අවට සුන්දරත්වය නරඹමින් ඡායාරූප ගත කරමින් සිටියදී  පිරිසක් පොලු මුගුරු රැගෙන රාත්‍රී 9.00ට පමණ එම ස්ථානයට කඩා වැදී චාරිකාවේ නිරත පිරිස බිය වද්දා තර්ජනය කරමින් කන්දෙන් පහළ දිවියාගල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවට එම පැමිණිල්ලේ සඳහන් වේ. එහිදී සැකකරුවන් අසභ්‍ය වචනයෙන් බැණ වැදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට හිංසා කර ඇති බවත් එම සිද්ධිය ඔවුන් වීඩියෝ ගත කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්වේ. සැකකරුවන් මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස පැයකට අධික කාලයක් ඔවුන්ගේ ග්‍රහණයේ රඳවාගෙන සිට ඇති බවත් පසුව සිද්ධිය සැලවීමත් සමග අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පණාවල මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිස පොලිසියට රැගෙන ඒමට කටයුතු කළ බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.



පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වන අවස්ථාවේ සැකකරුවන් පිරිස පලාගොස් ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මොවුන් මෙලෙස පොලිසියට බාර වී ඇති බවද වාර්තා විය.

දූල්දෙනිය, කලඔටුවාගල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සංවිධාය කළ සංචාරයක් අතරතුර ඉකුත් 05 වැනි දින රාත්‍රියේ මෙම සිද්ධිය වී ඇති  බවට මාවනැල්ල පොලිසියට පැමිණිලි ලැබී ඇත.  එම සංචාරය සඳහා ප්‍රදේශයේ වැඩිහිටි භික්ෂූන් වහනසේලා තුන් නමක්, සාමණේර හිමිවරුන් දෙනමක්, තරුණයන් සහ සංචාරය සංවිධානය කළ විහාරාධිපති හිමියන්ගේ වැඩිමහලු සහෝදරියන්  දෙදෙනකු එම සහෝදරියන් දෙදෙනාගේ  දියණියන් දෙදෙනකුද ඇතුළු විස්සකට අධික කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බව  පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පැවැසීය.
පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.