keheliya-speaks

මේ දිනවල පවති වැඩ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  පුවත්පතකට සපයා ඇති සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා තිබේ.

අද සෞඛ්‍ය වෘත්තීය සමිති ඉදිරිපත් කරල තියෙන කරුණු 7ක් තියෙනව. ඒ කරුණු 7න් කරුණු තුනකට සාකච්ඡාවකින්, විවාදයකින් තොරව එකඟවුණා. තව ප්‍රශ්න දෙකක් තිබ්බ ඒ සම්බන්ධයෙන් මට කෙළින්ම තීන්දුවක් ගන්න බෑ, ඒකට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැනි කොටස් එක්ක කතා කරල තමයි තීන්දු ගන්න ඕන. හැබැයි ඒ සම්බන්ධයෙන් සාධනීය ලෙස ඒ අයත් එක්ක සාකච්ඡා කරන්නත් එකඟ වුණා. ඒ වගේම තමයි ඉටුකරන්න බැරි කරුණු දෙකක් තිබුණ. මගේ සිරිතක් තියෙනව දෙන්න බැරි දේවල්වලට බොරු බලාපොරොත්තු, පොරොන්දු දෙන්නෙ නෑ.

ඒක නිසා මම කිව්ව මොනව කරත් ඒ දෙක දෙන්න බෑ කියලා.

මේ වර්ජනයෙ ප්‍රධාන සටන් පාඨයක් තමයි ගුරු වැටුප වැඩිකිරීමත් එක්ක හෙද සේවයට ඇතිවන වැටුප් විෂමතාව. එකඟ නොවූ කාරණා අතර එය ප්‍රධාන කාරණයක්. මම කිව්ව ඒ ගැන නම් කතා කරන්නවත් එපා කියල. ගුරු වැටුප් ප්‍රශ්නය, හෙද වැටුප් ප්‍රශ්නයට කොහොමටත් සමාන කරන්න බෑ. ගුරු වැටුප් ප්‍රශ්නයේ පසුබිම හා ඉතිහාසය වෙනමම එකක්.

මම ඉදිරි දින කිහිපය ඇතුළතදි වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයගෙ වැටුප් හා දීමනා සම්බන්ධව පුවත්පත්වල සම්පූර්ණ පිටුවක් පුරා දැන්වීමක් දානවා. එතකොට හැමෝටම අදහසක් ගන්න පුළුවන්වෙයි මේ අය ගන්න පඩිය ගැන. සාමාන්‍යයෙන් හෙදියක් පැය 400ක් විතර අතිකාල කරනවා. අපි එය පැය 150ක් හැටියට අරගත්තොත් තුන්වැනි ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් සාමාන්‍යයෙන් රු. 1,02,000 (රුපියල් එක්ලක්ෂ දෙදහසක) වැටුපක් ගන්නවා. පළමු ශ්‍රේණියේ හෙදියක් ගන්නවා රුපියල් 1,80,000ක් (රුපියල් එක්ලක්ෂ අසූ දහසක්).

මේ අය පාරට බැහැල උද්ඝෝෂණය කරනවා මේක දියව් කියලා. එතකොට ඒව දෙනව. ඒ දෙන්නෙ අපි එකඟවුණා නිසා. ඒ නිසා වෘත්තිකයන්ට කියනවා ඒව ලැබුණේ වෘත්තිය සමිති නිසා කියලා. ඒක නිසා මේක නතර වෙන්නෙ නෑ.

ආයෙත් පාරට බහින්න ඕන මොනයම් හෝ කොනක් මේ වෘත්තීය සමිති ඉතුරු කරගන්නවා.
 මම ගැසට් එකක් ගැහුව සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් විදිහට. ඊට පස්සෙ බලමු මොකද වෙන්නෙ කියලා.

අනිවාර්යයෙන්ම මේකෙ දෙකෙන් එකක් ඉවරවෙන්න ඕන. අධ්‍යාපන ක්ෂේත්‍රය දුන් වැටුප් සමාන්තරය මේ අයට දෙන්න කියනව නම් ඒක දෙන්න බෑ. මේ වෙද්දදී රටේ ජාතික ආදායමෙන් 72%ක් යන්නෙ වැටුප් සහ විශ්‍රාම වැටුප්වලට. ඉතින් කොහොමද මේක දෙන්නේ. දෙන්න බෑ කියල දැන දැනමයි ඉල්ලන්නේ.

(සාකච්ඡාව- ඉන්ද්‍රජිත් සුබසිංහ-අරුණ)