මීට ටික කලකට ඉහතදී කොටදෙණියාව ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙන්නෙකු අතුරුදන්වී දින ගණනාවකට පසු ඔවුන් හමුවූ සිදුවීමක් වාර්තාවී තිබූ අතර පසුව ඔවුන් නිවසට යන්න බෑ කියා පරිවාසයට යොමු කළ බව කියැවුණි. මෙම නිවසේ මවගේ පෙර කසාදයේ හා සැමියාගේ පෙර කසාදයේ දරුවන්ද වත්මන් කසාදයේ දරුවන්ද ඇතුළු 9 දෙනෙකු පමණ ජීවත්වූ බව ඒ දිනවල වාර්තා පළ විය.
කොටදෙණියාවෙන් දැන් ඇහෙන අළුත්ම ආරංචිය මෙම නිවසේ තරුණයින් 4 දෙනෙකු ‘අල්කයිඩා‘ නමින් තමන්ව හඳුන්වාගනිමින් කඩු පොලු අතැතිව මංකොල්ල කෑම් මීනීමැරීමට තැත්කිරීම් ඇතුලු නොයෙක් අපචාර ක්‍රියාවෙන් සිදුකරමින් සිටින බවයි.
මොවුන් නිර්මාණය කර ඇති භීතිය හේතුවෙන් ගම් වැසියන් බියට පත්ව ඇතැමුන් නිවෙස් අතැර ගොස් ඇති අතර ඇතැමුන් නිවෙස් වල දොරවල් වසාගෙන තැතිගෙන සිටින බවද වාර්තාවේ.
සිවු දෙනෙකුගෙන් යුත් මෙම මැර කල්ලිය කොටදෙනියාව වත්තෙගෙදර නිවසකට කඩා වැදී තෙහැවිරිදි හා සය හැවිරිදි දැරියන් දෙදෙනෙකු කපා කොටා මරා දැමීමට උත්සාහ කරද්දී එය වළකරන්නට තැත්දැරූ අසල්වැසි යුවළක් කඩුවෙන් කපා බරපතළ තුවාල සිදුකර මේ වනවිට රෝහල් ගත කර තිබේ.
ඉකුත් 15 දා රාත්‍රියේ තම ජීවිතය පරදුවට තබා කුඩා දැරියන් දෙපලගේ දිවි බේරා ගැනීමට යාමෙන් මෙසේ කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජී.ජී. වික්‍රමසිංහ 68 මහතා සහ ඔහුගේ බිරිය වන ඊ.කේ. කුසුමාවතී 67 මහත්මියයි.
‘අල්කයිඩා‘ නිවසේ සහෝදරයන් තිදෙනෙකු ඇතුලු සිවු දෙනෙකු මෙම මැර පිරිසට එක්ව සිට ඇති අතර ඉන් දෙදෙනෙකු ස්වාමීන් වහන්සේලා ලෙස පෙනී සිටිමින් සිවුරු හැඳ සිටින අය බවද වාර්තා විය.
අපරාධය සිදුවී ටිකකින් ක්‍රියාත්මකවූ පොලිසිය සැකකරුවකු අත තිබූ කඩුවක් අල්ලා ගත්තත් සැකකරුවන් පළාගොස් ඇති බවද හෙළි විය.
අනතුරුව සැකකරුවන් සිව් දෙනා ආසන්නයේ මෝලක සිව්රක් එලා ඒ මත නිදා සිටියදී ප්‍රදෙශයේ ජනතාව සැපයූ ඔත්තු අනුව සැකකරුවන් දෙදෙනකු අල්ලා ගෙන ඇති අතර පළාගිය දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකය.
පොලිසිය පවසන්නේ පවුලේ පවතින අධික දරිද්‍රතාව හේතුවෙන් මුදල් ඉපැයීමට මගක් නැතිව ඇතැම් දරුවන් මහණ කර තිබූ මෙම පවුලේ අය දැන් කඩු පොලු අතැතිව අන්අයගේ මුදල් කොල්ලකන ඛේදනීය තත්වයට ඇදවැටී ඇති බවයි. මේ සඳහා පන්සලේ සිට පැමිණි දරුවන් දෙන්නාද නිවසේ දරුවන් දෙන්නෙකුද එක්ව ඇති බවත් පොලිසිය පවසයි.
0 Comments