mahinda-amaraweera

පරිසර ඇමති මහින්ද අමරවීර පුවත්පතකට දක්වා ඇති අදහස් පහත පරිදිය.

ඇයි මේ හිටපු ගමන් බයිසිකල් මතක් වුණේ...?

මම පරිසර අමාත්‍යවරයා විදිහට කරන්න ඕන දෙයක් ගැන තමයි අවධානය යොමු කළේ.

ඉදිරියට ඉදිවන මාර්ග පද්ධති සියල්ලෙම පාපැදිකරුවන්ට වෙනම තීරුවක් වෙන්කරන්නත්, පයින් ගමන් කරන අයට අවස්ථාවක් දෙන්න කියල මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ වගේම තියෙන මාර්ග පද්ධතියෙත් පාපැදිවලින් ගමන් කරන්න අවස්ථාව දෙන්න කියල. ඒ හැමදේම මම කිව්වෙ මේ වෙලාවෙ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් විදිහට. ඒ නිසා මේ වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නව.



අද වායුගෝලය ඉතාම දූෂිතයි. මේ වැඩසටහනින් පරිසරයට ලැබෙන ප්‍රතිලාභය ඉතා ඉහළයි. ඒ විතරක් නෙමෙයි වාහනයකින් කිලෝ මීටරයක් යනව වගේ නෙමෙයි බයිසිකලයකින් කිලෝ මීටරයක් යද්දි ඉතිරිවන මුදල. ඒ වගේම වාහන තදබදයට හොඳ විසඳුමක්. අනෙක් අතට සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් මේකෙන් ලොකු වාසියක් තියෙනව. ඒ නිසා මම හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නෙ රට වෙනුවෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ වැඩසටහනට සහයෝගය දෙන්න කියල.

අද ගොඩක් අය ගස් ඉන්දන ඒව ගැන, ගස් කපන ඒවා ගැන ලොකුවට කතා කරනව. හැබැයි ඒ අය මුළු ජීවිත කාලයටම එක ගහක්වත් ඉන්දලා නෑ. ඉතින් එහෙම පරිසරය ගැන ලොකුවට කතා කළාට වැඩක් නෑ. මොනම හෝ පැත්තකින් පරිසරය රකින්න දායක වෙන්න ඕන.



එතකොට කොහොමද ඇමැතිවරුන්ගෙන් ඒකට ලැබුණු ප්‍රතිචාරය...

මම මේ කැබිනට් පත්‍රිකාව යොමුකළ මොහොතේ සිට ජනාධිපතිවරයාගෙ ඉඳල සියලු අමාත්‍යවරු ඒකට සහයෝගය දැක්වුව. විනාඩි 40ක් විතර ඒ ගැන කතා කළා. හැමෝම කිව්වෙ දියුණු වූ රටවල මිනිස්සු බයිසිකල්වලින් යන්නෙ. අපිට මේ වැඩපිළිවෙළේදි ආරක්ෂාව වැනි ප්‍රාගෝගික ගැටලු එනව තමයි. නමුත් පුළුවන් තරම් මේ වැඩසටහන ප්‍රවර්ධනය කරන්න සම්බන්ධ වෙන්න කියල මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිය. ඒකට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණ. දැනටමත් මැති ඇමැතිවරු මට දන්වල තියෙනව ස්වෙච්ඡාවෙන්ම මේ වැඩේට ඒ අය දායක වෙනව කියල.

මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න මොනවගේ දේවල්ද ඔබතුමා යෝජනා කරන්නේ...?

මේක එකවරම ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අදියර කීපයකින් තමයි මේ වැඩසටහනට යන්න පුළුවන් වෙන්නෙ. මුලින්ම කරන්න ඕන රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශවලට බයිසිකල්වලින් වැඩට එන අයට බයිසිකල් රඳවන ස්ථානයන් සකස් කිරීම. ඒ වගේම බයිසිකල්වලින් ආවම දාඩිය දානව, එතකොට ඇඟසෝදා ගන්න, ඇඳුම් මාරුකරගන්න තැනක් හදන්න ඕන.

ඒවට මුදල් ප්‍රතිපාදන ඕන නම් අපි පරිසර අමාත්‍යාංශයෙන් ලබාදෙනව. ඒ වගේම බයිසිකල්වලින් වැඩට එන අය දිරිගන්වන්න වෙනම වැඩසටහන් සකස් කරන්න උපදෙස් දීල තියෙනව. උසස්වීම් ආදියෙදි එය සලකා බලන්න කියල උපදෙස් දුන්න. ඒක මගේ අමාත්‍යාංශයෙන් පටන් ගන්නව. දැනටමත් මධ්‍යම පරිසර අධිකාරියටත්, භූ විද්‍යා හා පතල් කැණීම් එකටත් උපදෙස් දීල තියෙනව වහාම අදාළ පහසුකම් සපයන්නත්, දිරිගැන්වීමට අවශ්‍ය උදව් උපකාර කරන්නත් මුදල් ප්‍රතිපාදන වෙන්කරන්නත්.