හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු සමග පැයක පමණ කාලයක් මහ මඟ පොර බදා මහත් වෙහෙසකින් ඔහු මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට මාලිම්බඩ පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු සමත්වී ඇත. තම දිවි පරදුවට තබා මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ මාලිම්බඩ පොලීසියේ සුබසිංහ ගමගේ සිරිපාල (59) හා සී.පී. චන්ද්‍රපාල (59) උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකි. ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක් බඳු වූ එම සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට ඒකරාශී වී ඇතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇති බිය නිසා ඒ කිසිවකුත් පොලීසියට සහාය වීමට ඉදිරිපත් වී නැතැයි වාර්තා වේ. අකුරුගොඩ පාසල ආසන්නයේ පුද්ගලයන් දෙදෙනකු මත්කුඩු විකුණමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ එක සැකකරුවකු බේරී පළා ගොස් ඇත.
අනෙක් සැකකරු ද පැන යෑමට සූදානම් වූ අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු අල්ලාගෙන බිම පෙරළෙමින් ඔහුට අත්විලංගු දැමීමට උත්සාහ කර තිබේ. මෙම සැකකරු ද එම අවස්ථාවේ සිය උපරිම ශක්තිය යොදවා පොර බදමින් සිට ඇති අතර, ඒ නිසා නිලධාරීන්ට විලංගුලෑමට හැකිව ඇත්තේ ඔහුගේ එක් අතකට පමණි. සැකකරු අසල තිබූ කළු ගලක් ගෙන එක් පොලිස් නිලධාරියකුගේ හිසට ගසා ඇතත්, යතුරුපැදියේ ආරක්ෂිත හිස් වැසුම පැළඳ සිටි නිසා ඔහුට ඉන් අනතුරක් සිදු නො වූ බව සිද්ධිය දුටු ප්‍රදේශවාසීහු පැවසූහ. ප්‍රදේශවාසීන් මෙම සිද්ධිය පිළිබඳව මාලිම්බඩ පොලිසියටද දුරකතනයෙන් දැනුම් දී ඇති බැවින්, එහි ස්ථානාධිපති ජේ.සී. අලවත්ත මහතා ඇතුළු කණ්ඩායමක්ද වහා ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ ඇත.
පොර බදිමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයකුගේ නිවස අසල පදිංචි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ද එම ස්ථානය අසලින් යන අතරතුර නැවතී පොලිස් නිලධාරීන් දෙදෙනාට උදවු කිරීමට ඉදිරිපත් වී තිබේ. එලෙස සැකකරු මෙල්ල කර ඔහුගේ අත් දෙකට විලංගු දැමීමෙන් පසුව සෙසු පොලිස් නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පරික්ෂා කිරිමේ දී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 360 ක ප්‍රමාණයක් තිබී ඇතැයි පොලිසිය කියයි. පැයක පමණ කාලයක් සැකකරු සමගපොර බැදීම හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනාට ද සීරිම් තුවාල සිදු වී තිබිණි. මත්කුඩු ජාවාරම් කිරීම හා පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයකු වන අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
-ක්‍රිෂාන් ජීවක ජයරුක්--
0 Comments