manjula-dissanayake

ජල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (23 වැනිදා) උදෑසන රිදීගම, ගෝනමඩ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ගම්වැසියන් ‘හූ’ කියා විරෝධය පෑම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.



ගෝනමඩ ගම්මානයේ ඇති ජල මූලාශ්‍රයක් යොදාගෙන රන්තැටිකන්ද ප්‍රදේශයේ නිවාස සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට 2018 වසරේදී සැලසුම් කර තිබේ. නමුත් ගෝනමඩ ප්‍රදේශවාසීන් පවසන්නේ තම ගමේ ඇති මෙම ජල මූලාශ්‍රය වෙනත් ප්‍රදේශයකට ජලය ලබාදීමට යොදාගතහොත් බුලුවල කන්ද, බුලුවල, ඇටිපොල, කන්දේපොල,

කොස්ගොල්ලේපොල සහ තුබාන ඇතුළු ගම්මාන 10කට පමණ ජලය අහිමි වීමේ අවධානමක් පවතින බවයි. එසේම මෙම ව්‍යාපෘතිය සිදු කළහොත් ගෝනමඩ ප්‍රදේශයේ සිට ගලා බසින ස්වාභාවික ඇළ මාර්ග සහ ඇල්ලේවල වැව සිඳී යෑම නිසා කුඹුරු අක්කර දහසකට පමණ ජලය ⁣ලබා ගැනීම ද ගැටලුවක් බව ප්‍රදේශවාසීහු පැවසූහ.

රිදීගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායකගේ ප්‍රධානත්වයෙන් රිදීගම, බුලුවල, සැගෑලෙන රාජමහා විහාරස්ථානයේදී අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ මේ ගැටලුව සම්බන්ධයෙන් ජලසම්පාදන මණ්ඩලය හරහා තාක්ෂණික පරීක්ෂණයක් සිදු කර තීරණයක් ලබාදෙන බවත් දෙපාර්ශ්වයටම ජලය අවශ්‍ය බවත්ය.

එහිදී එල්ල වූ දැඩි විරෝධය හමුවේ, මන්ත්‍රීවරිය එම ස්ථානයෙන් ඉවත්ව යෑමත් සමග ප්‍රදේශවාසීහූ ‘හූ’ කියමින් විරෝධතාව පල කළහ.