mihinthala-finding

ඓතිහාසික මිහින්තලා  පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැණීම් අතරතුර දී පළිඟුවලින් ආවරණය කරන ලද ධාතුන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනාකමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ ඊයේ (20) පැවසූහ.  කැණිම්වලදී හමුවූ ධාතූන් වහන්සේ බොහෝ විට සර්වඥ ධාතුන් වහන්සේ නමක් වන බවට සැක කරන බවත් මෙම ධාතූන් වහන්සේගේ කාලනිර්ණය ඉදිරියේදී සිදු කර ඊට අදාළ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීමේ කටයුතු සිදු කරන බවත් නා හිමියෝ සඳහන් කළහ. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මැටිවලින්  සාදන ලද විවිධ හැඩයන් සහිත පුරාවස්තූන්  කිහිපයක්ද මෙම කැණීම් අතරවාරයේදී එම  පුරාවිද්‍යා නිලධාරින්ට හමුව තිබේ. මෙම සිදු කරනු ලබන කැණීම්වලදී ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.



මෙරට ප්‍රථම බුද්ධ ශ්‍රාවිකාව වූ අනුලා  මහරහත් තෙරණිය ඇතුළු පන්සිය නමක් බුද්ධ ශ්‍රාවිකාවන් වෙනුවෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ විහාර මහා දේවියගේ මූලිකත්වයෙන් ඉදිකළ දැනට ගරා වැටී විනාශ වෙමින් පවතින ඓතිහාසික අනුලා චෛත්‍ය පුදබිම නැවත ප්‍රතිස්ථාපනය කිරීම උත්සවාකාරයෙන් පසුගියදා ආරම්භ කෙරිණී. තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධයන් විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා කුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ  ධම්මරතන නාහිමියන්ගේ අනුසාසනා පරිදි මෙම සෑයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර චෛත්‍ය ප්‍රතිස්ථාපන කටයුත්ත පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටත්තේ සිදු කෙරේ.

වසර 2500කට අධික ඈත ඉතිහාසයක් ඇති අනුලා චෛත්‍යය පිහිටි පුදබිම 1926 වසරේදී 

පුරාවිද්‍යා බිමක් බවට පත්කර ඇතත් කාලයාගේ  ඇවෑමෙන් විනාශයට පත්ව තිබිණි.  සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහ බෝධින්වහන්සේ මෙරටට වැඩම වීමෙන් අනතුරුව අනුලා බිසව ප්‍රමුඛ කුල කාන්තාවන් පන්සියයක පිරිස එක්ව පැවිදිවී මෙහෙණි සසුන ආරම්භ කර අනුලා චෛත්‍යය පිහිටි පිං බිමේ සිට ත්‍රිපිටකය හදාර ලෝකයටම බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ.

  බී.පී. චතුරංග -