mount-lavinia-incident

ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක සහ කාන්තාවන් පිරිසක් ලිංගික කටයුතු සඳහා වෙළෙඳාම් කර කෙටිකලක දී රුපියල් කෝටි 4කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ තැරැව්කරු, 

ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (22) නියෝග කළේය.  මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 108/35, ඩ්‍රිම්රෙන්ජ්  , පිරිවෙන පාර වාද්දුව පදිංචි විතානගේ රජීව් රවිනාත් ජයසිංහ නැමැත්තාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.  ගල්කිස්ස ප්‍රදේශයේ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක ගණිකා සේවයේ යොදවීමේ සිද්ධියකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.



මෙම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ අදාළ බාලවයස්කාර දැරිය සහ කාන්තාවන් කුට්ටනය සහ තැනැත්තන් වෙළෙඳාම සිදුකරමින් නීතිවිරෝධී ආකාරයෙන් මෙම මුදල් සහ දේපළ උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බැවින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මෙම සැකකරු රක්ෂිත භාරයේ සිටි අවස්ථාවේදී එනම් ඉකුත් සැප්තැම්බර් මස 15 වැනිදා සහ 16 වැනිදා යන දෙදින බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු  සඳහන් කළේය.

මෙම සැකකරු දැරිය සහ කාන්තාවන් විකිණීම සඳහා ගනුදෙනුකරුවකුගෙන් රුපියල් 3000 සිට 15,000 ක මුදලක් ලබාගෙන ඇති බවත් ඉන් අදාළ කාන්තාවන්ට ලබාදෙන්නේ  රුපියල් 1000ක මුදලක් බවත් කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. 

අදාළ කාන්තාවන් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල හෝටල් වෙත යොමු කර ඇති මෙම සැකකරු එයට උදවු උපකාර කරන ඔහුගේ ගෝලයකුට හෙරොයින් පැකැට්ටුවක් සහ අදාළ කාන්තාවක නොමිලයේ ලබා දී ඇති බවත්, මෙම සැකකරු මෙම ජාවාරමෙන් දිනකට රුපියල් ලක්ෂයකට  අධික මුදලක් උපයාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ   දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.  මෙම සැකකරු ඉකුත් 2006 වර්ෂයේ සිට බැංකු ගිණුම් 08ක් මගින් රුපියල් හාරකෝටි පනස්හය ලක්ෂ අසූ එක්දහස් නවසිය අටක මුදලක් සංසරණය කර ඇති අතර වෙනත් අයගේ නමින් වාහන කිහිපයක් ද මිලදී ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


 නිමන්ති රණසිංහ