nimal-lansa-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අද (23) දින පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදුකරන බව දක්වමින් පසුගිය දින කිහිපයේ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවිණි. නමුත් අද දිනයේ පාර්ලිමේන්තුවේ කතාකිරීමට  ලද අවස්ථාවේ නිමල් ලන්සා සියල්ල යටපත් කරගෙන කතා කළේය. ඒ අනුව අධිවේගී මාර්ගයේ මුදල් කොමිස් බෙදාගැනීමේ ප්‍රශ්න ගැන කලකිරීමට පත්ව කතා කළ ලන්සා ඒ ගැන කිසිවක් කතා නොකළේය.නමුත් කතාව අවසානයේ උපමාවක් යොදා යමක් ඇඟවීමට උත්සාහ කළේය.


ඔහු මෙසේ කීවේය.

‘මගේ අමාත්‍යංශයේ තිබුණ ප්‍රශ්නයක් ගැන මං ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙන්නෙ. එතුමා ඒ ගැන පරීක්ෂණයක් කරලා විසඳුමක් ලබාදෙයි කියල මං බලාපොරොත්තු වෙනවා.
පහුගිය දවස්වල මං මේ ගැන කිව්වාම අපේ පක්ෂයේ අයත් මට විරුද්ධව කතා කළා. ඒත් මං නිහඩ වුණා.
මිනිස්සුන්ට ජීවත්වෙන්න ඔක්සිජන් අවශ්‍ය නෑ කිව්ව අය එක්ක ප්‍රතිප්‍රහාර එල්ල කරගන්න සූදානමක් නැහැ.
මං අඩියක් පස්සට තියගත්තා. රටේ තියන අනික් ප්‍රශ්න එක්ක මේක ගැලපෙන් නැහැ. ඒ නිසා මං මේ ප්‍රශ්නය මතු කරන්න හිටියත් ඒ ගැන කතා නොකර ඉන්න තීරණය කළා.
අද තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නේ අපි ඒ ගැන බලන්න ඕන.

මේක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට බනින එක වැරදී. අපි ස්ථිර වැඩපිළිවෙලක් හදලා මේ ප්‍රශ්න විසඳගමු.
වාද භේද ඔක්කොම අමතක කරලා. වැඩ පිලිවෙලකට යමු. රට ගොඩනගන්න අපි එක්වෙමු.
එක දෙයක් ඒත් මං කියනවා..සමහර වැල් හිතන් ඉන්නවා ගස් ආරක්ෂා කරන්න. ඒත් සමහර වැල් නිසා ගස් විනාශ වෙනවා ඒක විතරක් මං මතක් කරනවා‘