Panadura-ambulance-driver-arrested-for-drug-trafficking

වෙඩි ප්‍රහාරයකින් බේරුණු පානදුර කේතුමති රෝහලේ ගිලන් රථ රියැදුරා මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන 'පානදුර සලිදු' නමැත්තාට අයත් මත්කුඩු තොග රෝහලට අයත් ගිලන් රථයෙන් වාර 8ට වැඩි ගණනක් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි.

  මාතර, මිදිගම, ගාල්ල, වැලිගම, පානදුර ආදී ප්‍රදේශවලට මොහු ගිලන් රථයෙන් මත්කුඩු ප්‍රවාහනය කර ඇති බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  හෙළි වූ බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි.සැකකාර ගිලන් රථ රියැදුරා හොරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් දිවයිනේ ප්‍රදේශ රැසක නිවාස සහ ඉඩම් මිලදී ගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත්, ඉන් කිහිපයක තොරතුරු ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවත් පරීක්ෂණ  මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඔහුගෙන් තොරතුරු හෙළි කරගැනීම සඳහා ප්‍රශ්න කරමින් සිටින බව ද පොලීසිය පවසයි.  සැකකරු මක්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදලින් ඔහුගේ අනියම් බිරියට හොරණ ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන නිවෙසක් ඉදිකර ඇති බවත්, කුරුණෑගල ප්‍රදේශයේ ද ඉඩමක් මිලදීගෙන ඇති බවත්, ඔහු රුපියල් ලක්ෂ 40ට අධික වටිනා මෝටර් රථයක් පදවන බවත් තොරතුරු හෙළිව ඇත.  මොහු පදවන මෝටර් රථය ඔහුගේ  වැඩිමහල් සොහොයුරිය නමින් මිලදීගෙන ඇති බවට දැනට සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර එම පිරිසගෙන් එම දේපළ මිලදීගත් අයුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයට හා අයි.ඩී.එච්. යන ප්‍රදේශ වෙත ඔහු නිතර නිතර ගිලන් රථයෙන් පැමිණ මත්කුඩු ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව ද  පොලිස් ආරංචිමාර්ග කියයි. ගිලන් රථ රියැදුරා සහ ඔහුගේ සහායක මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මස 12 වැනි දින දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් පසු වේ.

 -ඉන්දිකා රාමනායක-