panadura-maths-sir

උපකාරක පන්තියක දී 13 හැවිරිදි දැරියකගේ ළැම ප‍්‍රදේශය සහ රහස් ප‍්‍රදේශය අතගෑ බව කියන උපකාරක පංති ගුරුවරයකු අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහෙස්ත‍්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා පෙරේදා (01 දා) නියම කළේය.



පානදුර, ජයතිලක මාවතේ  පදිංචි 36 හැවිරිදි ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ගණිත විෂය උගන්වන පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අමිල නාවලගේ මහතා මෙසේ පැවසීය. දරුවන්ව දෙමාපියන් පෞද්ගලික උපකාරක පංතියකට යවන්නේ වගකීමක් ඇතිව ශාස්ත‍්‍රය ලබාදෙන බවට වූ විශ්වාසයකින්,

ඒ විශ්වාසය බිඳ දැමූ මෙය ඉතාම ශෝචනීය කරුණක්.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිලූක එම්. සිල්වා මහතා සඳහන් කළේ, තම සේවාදායකයා මීට පෙර මෙවැනි වැරදිවලට සම්බන්ධ වී නොමැති බවත්, ඉතා කෙටි කාලයකදී සිය ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රියත්වයක් ලබා ඇති සැකකරුට එල්ලවී ඇති චෝදනාවේ පදනම පිළිබඳ නිසි වැටහීමක් නොමැති බවත්ය.ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වූ සැරයන් ඩී.එම්. ගුණේන්ද්‍ර මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් සැකකරු පානදුර ජයතිලක මාවතේ පවත්වාගෙන යන පංතියකට ඉකුත් 29 දා සහභාගිවී සිටීයදී වින්දිත දැරියගේ පපු ප‍්‍රදේශය ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයක් සැකකරු අතින් පිරිමැද මුහුණ සිඹ ඇති බවත්, එහිදී දැරිය සැකකරුගේ ග‍්‍රහණයෙන් මිදීමට ඇයගේ නියපොතුවලින් සැකකරුගේ දෑත් සූරා ඇති බව කියා සිටියේය.  විවෘත අධිකරණයේ වැඩිදුරටත් කරුණු දැක්වූ සැරයන්වරයා -



‘‘ස්වාමීනී මා ප‍්‍රකාශ කරන කරුණුවලට වඩා වැඩි යමක් බී වාර්තාවේ සටහන් කර තිබෙනවා. අපරාධය සිදු වූ ස්ථානය මා විසින් පරීක්ෂා කිරීමේදී හැඟී ගියේ අනෙක් ළමුන්ගේ ඇස් මායිමට හසුනොවන එවැනි ස්ථානයක් පූර්ව සූදානමකින් සකස් කර ඇති බවයි. ඒ අනුව තවත් දැරියන් මෙහිදී අතවරයට ලක්ව ඇද්ද යන්න සම්බන්ධයෙන් මා තවදුරටත් විමර්ශන කරනවා’’ යනුවෙනි.

වින්දිත දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට පැමිණවීමෙන් පසු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස උපදෙස් දී ඇති බවට අධිකරණයේ දී අනාවරණය විය.පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ අමිල නාවලගේ, සැකකරු වෙනුවෙන් නීතිඥ දිලූක එම්. සිල්වා යන මහත්වරු පෙනීසිටියහ. පොලිසිය වෙනුවෙන් පානදුර දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් ඞී.එම්. ගුණේන්ද්‍ර (55301) මහතා උසාවි කටයුතු මෙහෙයවීය.නඩුව පෙබරවාරි 9  වැනිදා යළි කැඳවීමට නියමිතය.