panadura-salindu

විදේශ රටක සැගව සිටිමින් මත්කුඩු ජාවාරාමේ නියුතු 'පානදුර සළිදු' නමැත්තාට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදලක් පානදුර විහාරයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගත් බවත්, එම මුදල් එකතු කළ පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකටි කිහිපයක්ද සමගින් ඊයේ (22)දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බවත් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සැකකරු පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශය පදිංචිකරුවෙකි.පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිම්න ජයසුන්දර මහතාට ලද තොරතුරක් මත,

'පානදුර සළිදු' නමැත්තාගේ මුදල් එකතු කරන ප්‍රධාන ගෝලයෙකුගේ නිවසක් පරික්ෂා කර ඇති අතර, කුරුප්පුමුල්ල විහාරයක  කළුගල් ගොඩක විශාල මුදලක් සගවා ඇති බවට ලද තොරතුරකට අනුව උපපොලිස් පරික්ෂක කේ. බන්දුකුමාර ඇතුළු පොලිස් කණ්ඩායම විහාරයේ ගොඩගසා තිබූ ගල්ගොඩ පරික්ෂා කිරීමේදී කළු පැහැති පොලිතින් ආවරණයකින් වසාදමා හිස් සහල් උරයක බහා තිබූ රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදල සොයාගෙන තිබේ.



ජාවාරම් මුදල් එකතු කරන බව කියන සැකකරු හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සමගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොටිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න, නිරෝෂන් ධර්මසේන, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමිල නිශ්ශංක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උපපොලිස් පරික්ෂක කේ. බන්දුකුමාර මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.