Panadura-ambulance-driver-arrested-for-drug-trafficking

පානදුර කේතුමතී  රෝහලේ ගිලන් රථ රියැදුරකුට එම රෝහල ඉදිරිපිටදී වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ දී සිද්ධියේ ප්‍රධාන සැකකරු බවට සැලකෙන පුද්ගලයා පෙරේදා (09) රාත්‍රියේ පානදුර වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව

පානදුර දකුණු පොලිසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ

පානදුර පුංචිදෙණිය කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තැනැත්තෙකි. ගිලන්රථ රියැදුරුට වෙඩි තැබීමට ගිය බව කියන කල්ලිය මෙහෙයවා ඇත්තේ මෙම පුද්ගලයා බවට පරීක්ෂණෙවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය. රුපියල් ලක්ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් මත ගිලන් රථ රියැදුරා වෙඩි තබා ඝාතනය  කිරීමට උත්සාහ දරා තිබෙන බවටද කරුණු අනාවරණය වී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයා මීට ප්‍රථම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් ඇප මත සිටින පුද්ගලයකු බවද පැවසේ. සැකකරු එදින යතුරුපැදියේ පසුපස වාඩිවී පැමිණි පුද්ගලයකු බවත් ගිලන්රථ රියැදුරුට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති පුද්ගලයකු බවටත් මෙතෙක් කළ පරික්ෂණවලදී හෙළිව ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.  සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් අටක්ද සොයාගෙන ඇති බවත් ඔහු පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ප්‍රධාන මත්කුඩු ජාලයට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයකු බවට ලැබී ඇති තොරතුරු මත පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය කියයි.  ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට

සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. මෙම ගිලන් රථ රියැදුරා දැනට ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලිදු මල්ෂිත ගුණරත්න නමැත්තා සමග සම්බන්ධකම් පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔහුද සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳා තබාගෙන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-