pasyala-massage-girl-story

ඉබී අගුල් යොදා කඩ කාමරයක කොටු කර සිටි තරුණ සම්බාහන උපදේශිකාවක  පොලිස් හදිසි ඇමතුම් අංශයේ දෙදෙනකු විසින් පෙරේදා (21 වැනිදා) බේරාගනු ලැබ ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලීසිය කියයි.   පස්යාල-මීරිගම පාරේ දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක බිම් මහලේ කඩ කාමරයක මෙම සම්බාහන උපදේශිකාව කොටු කර සිටි බව පොලීසිය කියයි. මෙසේ කොටු කර සිර අඩස්සියට ලක් කර ඇත්තේ, අත්තනගල්ල එල්ලක්කල පදිංචි තිස්ඵක් හැවිරිදි කාන්තාවක බව ද පොලීසිය සඳහන් කරයි. සම්බාහන උපදේශිකාව කොටු කර සිටි මෙම කඩ කාමරය මෙයට වසර දෙකකට පමණ පෙර ඇය විසින් බදු පදනම මත ලබාගෙන එහි සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වගෙන ගොස්  ඇති බව ද පොලීසිය කියයි.



කඩ කාමරයේ බදු කාලය අවසන් වීමට පෙර සම්බාහන මධ්‍යස්ථානය වසා දැමුව ද  එය හිමිකරුට බාර නොදීම නිසා ඇයත් කඩ කාමර හිමියාත් අතර ආරවුලක් හටගෙන ඇති බව පරික්ෂණවලදී හෙළි වී යැයි පොලීසිය කියයි. සම්බාහන උපදේශිකාව පෙරේදා (21 වැනිදා) සවස කිසියම් අවශ්‍යතාවක් මත කඩ කාමරයට පැමිණ සිටියදී කඩ කාමරයේ හිමිකරු යැයි පැවැසෙන ව්‍යාපාරිකයකුගේ උපදෙස් මත ඔහුගේ සේවකයකු සම්බාහන උපදේශිකාව කඩ කාමරයට කොටු කර එහි දොර පියන් වසා ඉබි අගුල් යොදා කාමරය වසා දමා ඇතැයි පොලිසිය කියයි.  කාමරයට කොටු වූ මෙම තරුණ කාන්තාව කාමරයෙන් පිටතට ඒමට නොහැකිව ආධාර ඉල්ලා කෑගසා ඇතත්,

ඇය බේරා ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නොමැති බව ද පැවැසෙයි.

සිද්ධියෙන් හිංසනයට ලක්ව ඇති මෙම කාන්තාව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ පිහිට පතා එම අංශයට සිද්ධිය දැනුම් දී ඇත. ඒ අනුව නිට්ටඹුව පොලිස් නිලධාරීන් දෙන්නෙකු එම ස්ථානයට ගොස් කඩ කාමරයට ඉබි අගුල් යෙදූ සේවකයා සොයා ඉබි අගුල් යතුරු ගෙන්වා සේවකයා ලවා කාමරය විවෘත කර එහි සිර කර සිටි කාන්තාව මුදාගත් බව වාර්තා විය.
හිමිකරු යැයි පැවැසෙන ව්‍යාපාරිකයාත්, කාමරය ඉබි අගුල් යොදා වසා දැමූ බව පැවැසෙන සේවකයාත් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.