මහජන උපයෝගීතා කොමිසම මින් ඉහත මාධ්‍ය වෙත දන්වා තිබුනේ ජල විදුලිය මෙන්ම ඉන්ධන හිඟය නිසා ඉදිරියේ මාස 3 ක් පමණ දුෂ්කර කාලයක් විදුලි උත්පාදනයට පවතින බවයි. මේ නිසා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යව ඇති බවත් විදුලි බල මන්ඩලය කියන පරිදි

එය නොකර විකල්ප ක්‍රම තමන් ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව අද (15) සවස පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔවුන් දන්වා සිටියේ ඉදිරි මාස තුන තුළ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවකි.
 සභාපති ජනක රත්නායක මහතා  දන්වා සිටියේ
“මෙගාවොට් 100ක බලාගාරයක් බිඳවැටුණොත් අපිට විදුලි කප්පාදුවකින් තොරව යන්න පුළුවන්. මෙගාවොට් 200ක විදුලි බලාගාරයක් බිඳ වැටුණොත් අපිට පැයක විදුලි කප්පාදුවකට යන්න වෙනවා. මෙගාවොට් 300ක බලාගාරයක් බිඳවැටුණොත් පැය එකහමාරක පමණ විදුලි කප්පාදුවකට යන්න වෙනවා.
නිරන්තරයෙන් ඉන්ධන ලැබිය යුතුයි.


එහෙම උපකල්පනය කරලා තමයි කප්පාදු නොකරන තීරණයට ආවේ. ඒ ගැන විදුලිබල මණ්ඩලයට අපි දන්වලා තියෙනවා.”
“ඒ අනුව තෙල් ලැබෙනවා, බලාගාර ඔක්කොම වැඩකරනවා කියන උපකල්පනය මත තමයි මහජන උපයෝගිතා කොමිසම ඉදිරි මාස තුනේ දෛනික විදුලි කප්පාදුවකට යන්න අවසර නොදෙන්නේ.”
“ස්ථීරවම කියන්න බෑ. අපේ ජීවිතයත් ස්ථීර නැති කොට මොකක් ද ස්ථීරවම කියන්න පුළුවන්.” 

මේ අතර මහාපරිමාණ කර්මාන්ත ශාලා දිනකට පැය 4 ක් ජෙනරේටරයෙන් විදුලිය ලබාගන්නා ලෙසත්, මහල් නිවාසවල පදිංචි පුද්ගලයින් පස්වරු 6.00 ත් රාත්‍රි 10.00 ත් අතර වායුසමන යන්ත්‍ර භාවිත කරන්නේ නම්, තමන් සතු විදුලි ජනන යන්ත්‍ර භාවිත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටි නමුත් ඒවා අධික්ෂණය කරන්නේ කෙසේද යන්න පැහැදිලිකළේ නැත.
රාජ්‍ය ආයතනවල විදුලි පාරිභෝජනය සිමා කිරිමට නව ක්‍රමවේද හඳුන්වාදෙන බවද ඔහු කීය.