රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීමේ සිද්ධිය නවක වදයට විරුද්ධවූ 3 වන වසරේ සිසුවෙකුට එරෙහිව 4 වන වසරේ සිසුන් 6 දෙනෙකු සිදු කළ ප්‍රහාරයක් බවත් එම ප්‍රහාරයට ජ්‍යෙෂ්ඨයින්ගේ කීමට බාහිර පිරිසක්ද සම්බන්ධවී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතී.
බාහිරින් පැමිණි පුද්ගලයින්ගෙන් කෙනෙකු අරුන්දික රාජ්‍ය ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ අයකු බව හඳුනාගෙන ඇති නමුත් මෙම ගැටුමට දේශපාලකයාගේ සම්බන්ධයක් ඇතැයි තවම හෙළිවී නැත.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
මෙම පිරිස අතර සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන තවත් වෛද්‍ය සිසුවෙක්, සිසුන් පහර දීම සදහා පැමිණ රාජ්‍ය ආයතනයට අයත් මෝටර් රථයේ රියදුරු හා සිද්ධිය සම්බන්ධයෙන් අද (2) පස්වරුවේ රාගම පොලිසියට බාර වු තිදෙනකු ද වන බව ඔහු කීය.
මීගමුවේ රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවා හැර සෙසු සැකකරුවන් පස් දෙනා අද පස්වරුව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට තමා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
දැනට මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන රාගම වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවකු වන ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතානගේ සුවදුක් විමසීම සදහා රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.
මෙම සිද්ධිය ගැන දැනගත්තේ අද උදෑසන. මේ සදහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් ඊට යොදාගෙන ඇති බව දැන ගත් අතර
ඒ අයට එරෙහිව විධිමත් පරික්ෂයකින් පසු විනය පියවර ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම සිද්ධියෙන් තුවා ලැබූ ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන සිසුවාගේ මව වන විශේසඥ වෛද්‍ය කේ ඩි සි පරණවිතාන මහත්මිය අදහස් දක්වමින් ශිෂ්‍ය සමිති අතර ගැටුමක් නිසා මෙම පහරදීමට සිදුව ඇති බවත් පළමු වසරේ දීත් තම පුතාට පහරදීමක් කළ බවත් කීවාය.මෙම ගැටුම්වලට නවකවදය හේතුව ඇති බවත් විශ්ව විද්‍යාල තුළින් නවක වදය අවසන් කිරීම සදහා කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක් බව ද ඇය කීවාය.
0 Comments