raigam-teles-2020-2021

වසංගත තත්ත්වය හමුවේ කල්දමන ලද  රයිගම් ටෙලීස් 2020 උළෙල හා 2021 සඳහා වන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල අද (25) සවස  ශ්‍රී ජයවර්ධනපුර වොටර්ස්ඒජ් හිදී පවත්වනු ලැබේ.


රයිගම් ටෙලීස් අවසන් රාත්‍රිය ලබන මස අගදී පවත්වන්නට පෙරාතුව ජාත්‍යන්තර  උළෙල සංස්කෘතිය හා යමින් ප‍්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප‍්‍රසිද්ධකිරීම අද සිදුවන්නේ රයිගම් ටෙලීස් නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප‍්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමමිනි.


ටෙලිනාට්‍ය වලට මෙන්ම රූපවාහිනී වැඩසටහන් කාණ්ඩ වලට පුළුල් වශයෙන් සම්මාන ලබාදෙන
රයිගම් ටෙලීස්  - දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත. වාණිජ පරමාර්ථයෙන් තොර ආයතනයක් ස්ථාපිතකර ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් එහි විනිශ්චයන් සිදු කරයි.
සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනිමේ ක‍්‍රියාවලිය ආරම්භවන්නේ අයදුම්පත් භාරගැනීම පිළිබඳ ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙනි. උළෙල සඳහා ඉදිරිපත් කරන සියලුම නිර්මාණ අදාල කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාවේ යම් නාලිකාවක විකාශයවූ බවට එම නාලිකාව විසින් තහවුරු කර තිබිය යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.
මෙවර 2020 හා 2021 වර්ෂ සඳහා ඒකාබද්ධ උළෙලක් පැවැත්වූවද 2020 හා  2021 වර්ෂ වලට අදාල අයදුම් පත් වෙන වෙනම භාරගත් අතර, 2020 වර්ෂයට අදාල අයදුම්පත් භාරගැනීමද වෙනම සිදුවිය.

මෙවර සම්මාන උළෙලේදි වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් හඳුන්වා දී ඇත. වසරේ ජනප‍්‍රියතම ටෙලිනාට්‍යය,

ටෙලිනාට්‍ය නඟවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කළද ඒවා ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ නොවන්නට ඉඩ ඇත. මෙම නව සම්මාන කුලකයෙන් උත්සාහ දරන්නේ ප‍්‍රසිද්ධ කරන ලද දත්ත උපයෝගී කරගෙන යම් සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකට වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන් සමුච්ඡය තීරණය කිරීමයි.  මෙය ශ‍්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ නව ප‍්‍රවණතාවයක් වනු ඇත.
2020-2021 රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය මෙසේය.
  • බුද්ධදාස ගලප්පත්ති මහතා - සභාපති/ටෙලිනාට්‍ය අනුකමිටු ප‍්‍රධානී
  • මහාචාර්ය අජන්තා හපුආරච්චි - මාධ්‍ය වැඩසටහන් අනුකමිටු ප‍්‍රධානී
  • ජයනාත් ගුණවර්ධන මහතා - සාමාජික
  • මාහාචාර්ය ආරියරත්න කළුආරච්චි  - සාමාජික
  • රවීන්ද්‍ර ගුරුගේ මහතා - සාමාජික
  • හංසමාලා රිටිගහපොල මහත්මිය - සාමාජික
  • රංග දසනායක මහතා - සාමාජික
  • අරුණ ගුණරත්න මහතා - සාමාජික
  • ගුණසිරි සිල්වා මහතා - සාමාජික
  • අබ්දුල් හමීඞ් මහතා - සාමාජික - ද්‍රවිඩ මාධ්‍ය අංශය