salgadu-rally-anuradapura

වැඩ ලක්ෂයක් නම් වූ ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ආරම්භ කළ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණය හෙවත්
සල්ගාදු ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වූයේ විශාල කථාබහක් ඇති කරමිනි. එහි සිදුවූ ඇතැම් දේවල් ගැන සමාජ මාධ්‍ය තුළ විවේචනද මතුවිය.
 උසස් පෙළ විභාගය ආරම්භ කර තුන්වන දිනය වූ පෙබරවාරි 09 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සල්ගාදු ක්‍රීඩාංගණයේදී විභාග කාල වේලාව තුළ ආරම්භ කිරීම නිසා ක්‍රීඩාංගණය අවට ඇති විභාග මධ්‍යස්ථාන 7කට අයත් විභාග ශාලා 34කට බලපෑම් එල්ලවිය හැකි බව

ඊට පෙරදින
මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමය දන්වා තිබුණි. ඔවුන් ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාද දැනුවත් කර තිබුණි.
සමාරම්භක උත්සවයේ රැස්වීම නිල වශයෙන් පස්වරු 2ට ආරම්භ වූවද ශබ්ද විකාශන යන්ත්‍ර එදින පස්වරු 1 සිට ක්‍රියාත්මක කිරීමට සූදානමක්තිබී ඇත. එදින උසස් පෙළ විභාගය අවසන් වී ඇත්තේ පස්වරු 3.15ටය, තාක්ෂණ විෂයන් සහ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රවලට එදින විභාග ශාලාවල ළමයින් ට බාධා ඇතිවිය හැකි යයි උපකල්පණය වුවද සත්‍ය ලෙසම බාධාවක්වී නැත.
ඊට හේතුවී ඇත්තේ අපේක්ෂා කළ සෙනග නොපැමිණි නිසා පෙරහැර අවලංගු කිරීමය.
රැස්වීම සඳහා පැමිණී බස් රථ ගාල්කරන ලද ක්‍රීඩාංගණයේ සිට පෙළපාලියෙන් ගමන් කිරිමේ ඔවුන්ගේ සැලසුම් සෙනග මදිවීම නිසා අතරමග නතර කර ඇත්තේ එම ලියාගත් සටන්පාඨද පුවරුද පසෙකට දමාය. එදින ඇස්තමේන්තුගත පැමිණීම 5000 ක් බව පැවසිණි.
මෙම රැස්වීමට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් පමණ කැඳවා තිබුණ බවද පැවසිණි.


කෙසේ වෙතත් විභාගයට බාධා එල්ල වූයේ නැතත් විභාග අවසන් කර නිවෙස් බලා යන සිසුන්ට රැස්වීම නිසා අපහසුතා ඇති විය.
සිසු සැරිය සඳහා යොදවා තිබූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පෞද්ගලික බස් රථ මෙන්ම ලංගම බස් රථද විශාල සංඛ්‍යාවක් එම රැස්වීම වෙනුවෙන් යොදවා ගෙන තිබීම එයට හේතුවී ඇත. කිලෝ මීටර් 10-12 දුර ගෙවා අනුරාධපුරයේ එම විභාග මධ්‍යස්ථානවලට ආ සිසුන්ට
නැවත නිවෙස් වෙත නිසි වේලාවට යාම ඊළඟ විභාග දිනය සඳහාද වැදගත් වූ නමුත් ඒ බාධාවට නිසි විසඳුමක් තිබී නැත.
දේශපාලන රැස්වීමේ වේදිකාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ලබාගෙන තිබෙන අතර ක්‍රීඩාංගණය වටකර වැටවල් සෑදීම හා විදුලි ආලෝක කටයුතු යුද හමුදාව මගින් සිදුකර ඇත.