saman-chandranath-weerasinghe-dies

සුභාවිත ගීත රචකයෙකු, කවියෙකු, මාධ්‍යවේදියෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභවප්‍රාප්ත වූයේය. මියයන විට 74 වන වියෙහි පසුවිය. ඔහු පසුගිය දිනවල අසනීපයෙන් පසුවූ බව පවුලේ ආරංචි හෙළි කරයි.
යුග තුනක ගායන පරපුරුවලට ගී නිර්මාණයෙන් දායක වූ  සමන් චන්ද්‍රනාත් වීරසිංහ. මාලනී බුලත්සිංහල ගයන ‘සඳ මඩලේ සිට‘ ගුණදාස කපුගේ ගයන ‘නාඹර ගොයමට‘, ඩීඩී ගුණසේන ගයන ‘සොඳුර මට සමුදෙන්න‘, පුන්සිරි සොයිසා ගයන ‘බිඳුවක් ඉවසා‘, කීර්ති පැස්කුවල් ගයන ‘කවිකාරියේ‘, දයාරත්න රණතුංග ගයන ‘සමකෝනී ත්‍රිකෝණයකි‘, ග්‍රේෂන් ආනන්ද ගයන‘හිම රේණු වැටෙනා‘, සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘ රූකාන්ත - චන්ද්‍රලේකා ගයන ‘සඳලේඛා‘ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇත.


ඔහු ගීත 1500 පමණ ලියූ රචකයෙකි. සමන් චන්ද්‍රනාත් වීරසිංහ රචනා කළ ගීත අතරින් බොහොමයක් ගී තනු සරත් දසනායකයන්ගේ ය. ඔහු රචනා කළ ගුවන් විදුලි ගීත අතර බහුතරයක් ඇත්තේ දේශභිමානී ගීතය.  
ඔහු මෙසේ කියා තිබේ.
‘මම ගීත ලියන්න හිතුව කෙනෙක් නෙවෙයි. ඒ කාලේ පුන්සිරි සොයිසා සහ විමලසිරි ලොකුලියන මගේ හොඳම මිත්‍රයෝ. විමලසිරිට ඕනෑ වුණා තරඟයක් සඳහා ගායනා කරන්න ගීතයක් ලියවා ගන්න. මාව ගොඩක් අමාරුවෙන් ඒ සඳහා කැමැති කරගත් ඔහුට, මම ගීතයක් ලියලා දුන්නා.
කාලයක් යද්දි පුන්සිරි සොයිසා කියන මගේ මිත්‍රයාට මම ගීතයක් ලියලා දුන්නා. ‘රුසිරු දසුනක් නෙතට පාවී’ කියලා. නමුත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණු මගේ පළමු නිර්මාණය වුණේ සී. එල්. පෙරේරා ගායන කළ ‘මුතුකැට මතුවුණු මහ සයුරයි’ ගීතයයි.
ඒ වෙද්දී මම ගීත රචකයෙකු ලෙස දිගු ගමනක් ඇවිත් තිබුණෙ නැහැ. හැත්තෑව දශකයේ මුල් භාගයේ දී මම ලංකාදීප කර්තෘ මණ්ඩලයට එකතු වුණා.

එතනින් තමයි මගේ ගීත රචනයේ ප්‍රබල ආරම්භයක් සිදු වුණේ. ඒ කාලයේ දී මට සරත් දසනායකයන්ව හඳුනා ගන්න ලැබුණා. ඒ ගීතයක් නිසාවෙන්මයි. ඒ හඳුනා ගැනීමත් සමඟ සරත් - සමන් සුසංයෝගයෙන් බොහෝ ගීත නිර්මාණ බිහිවුණා. සංගීතය සැපයුවා. දශක හතරක කාලයක් පුරාවට මම විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ප්‍රවීණයන්ට වගේ ම අද පරපුරටත් ගීත නිර්මාණය කර තිබෙනවා. මා නිර්මාණය කළ ගීත වික්ටර් රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, කලාසූරි ලතා වල්පොල වැනි ප්‍රවීණයන් වගේ ම, රුක්මන් අසිත, දුලාජ් ධනුෂ්ක වැනි ආධුනිකයෝත් ගායනා කළා. මගේ ගීත නිර්මාණයට සංගීත පරපුරු කිහිපයක් දායකවීම මේ ගමනේ දී මට සුවිශේෂයි.‘
සමන් චන්ද්‍රනාත් කලාකරුවාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.