හඬ පටයකින් හෙළිවූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් නිසා මුල්‍ය අක්‍රමිකතා  සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දන්වා සිටියේය.



මෙම හඬ පටයෙන් කියවෙන කාරණා පමණක් නොව 2019 සිට 2021 දක් වූ වසර තුන තුළදීම සිදුවු මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවද දන්වා ඇත.



හඬ පටයට අනුව රුපියල් කෝටි තුනහමාරක මුදල් ගනුදෙනුවට මෙම නිලධාරියා සෘජුව හා වක්‍රව සම්බන්ධය. කෝටි තුනහමාර ලබාදී තිබෙන්නේ දැනට සීනි මිලදී ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර එය තමන් වෙත එය ලබාගැනීමටය. ඔහු මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම, මුං ඇට මිලදි ගැනීම ඇතුලු කාරණා රැසක් වෙනුවෙන් ප්‍රශ්නගත සභාපතිවරයා සිය ගෝලයා වු එම ආයතනයේ ප්‍රවාහන අංශයේ කළමණාකාරු සමග එක්ව අයථා ගනුදෙනු රැසක් සිදුකර ඇත.



ගනු දෙනුවලට අතරමැදියා වූ ප්‍රවාහන අංශයේ කළමණාකරු පසුගිය දෙසැම්බර් මාසයේ සිට සේවයට වාර්තා කර නැත. ඔහු එසේ සේවයට වාර්තා නොකිරීම නිසා කෝටි තුනහමාරක මුදලක් ප්‍රවාහන අංශ කළමණාකරුට ලබාදුන් ව්‍යාපාරිකයාට සැකයක් ඇති වී ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයාට ඒ ගැන දැනුවත් කර තිබේ. එහිදි තම ගෝලයා බේරා ගැනීම සඳහා මෙම සභාපතිවරයා පැය දෙකකට ආසන්න කාලයක් පෙර කී ව්‍යාපාරිකයා සමග සාකච්ඡා කර ඇති බවද එම හඬපටය අනුව අනාවරණය වේ.