ලංකා රසකැවිලි හිමියන්ගේ සංගමයේ සභාපති එස්. එම්. ඩී. සූරිය කුමාර මහතා මෙසේ අදහස් දක්වා තිබේ.
පහුගිය මාස අට තුළ පමණක් තිරිඟු පිටි මිල සියයට 70% කින් ඉහළ දාලා තියෙනවා. ඉතිහාසයේ වැඩිම පිටි මිල ඉහළ දැමීම කියලත් හඳුන්වන්න පුළුවන්.ඒ වගේම ප්‍රධාන සමාගමක් වන ප්‍රීමා සමාගම වෙද්දී අපට සපයන පිටි ප්‍රමාණය සියයට විසිපහක ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා.
ඉල්ලුමට අනුව සැපයුම නැති නිසා මේ අවස්ථාවේදී බේකරි හිමියන් වගේම රස කැවිලි නිෂ්පාදකයින්ද අසරණ වෙලා .රස කැවිලි නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන පිටි හිඟය නිසා උත්සව කාලයේ ඉල්ලුමට අනුව රස කැවිලි සපයන්න බැරි වෙනවා. පිටි හිඟය නිසා නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කරගන්න හැකියාවක් නැහැ.
නමුත් මේ හිඟයට විසඳුමක් ලෙස සෙරන්ඩිබ් සමාගම වැඩි කළ මිල ගණන් යටතේ වුණත් අවශ්‍යය පිටි ප්‍රමාණයන් සපයන්න උත්සාහ ගන්නවා. මේ සමාගම් දෙකෙන්ම දැන් ලැබෙන පිටි වල ගුණාත්මක භාවය ගැන ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. දැන් ලැබෙන පිටි වලින් නිෂ්පාදන සිදු කරද්දී බිස්කට් වල කේක් වල සහ රසකැවිලි වල රසයේ වෙනසක් වෙනවා. ඒ වගේම වැඩි කොටසක් ඉවත දාන්න සිදු වෙනවා .
සාමාන්‍යයෙන් රසකැවිලි නිෂ්පාදනය සඳහා මාසෙකට පිටි මෙට්‍රික් ටොන් දොලොස්දාහක් පමණ අවශ්‍යයි. ප්‍රාදේශීය නිෂ්පාදකයන් හැරුණු විට අපේ සංගමයේ ප්‍රධාන නිෂ්පාදකයින් අට දෙනෙක් ඉන්නවා.
ඊට අමතරව රට පුරාම රසකැවිලි නිෂ්පාදකයින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. පිටි හිඟය නිසා මේ සියලු දෙනාගේම රැකියාවන් තර්ජනයකට ලක් වෙලා.
බේකරි නිෂ්පාදන සහ රසකැවිලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ගණන් සියයට පනහකටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිහින්. මිල වැඩි වීමටත් වඩා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවක් තියෙනවා. අපේ නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 90% කටත් වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල්වලින්. දැන් ඒ රටවලින් අමුද්‍රව්‍ය ගෙන්නන්නේම නැති තරම්. වෙනත් රටවලින් ගෙන්වන පිටි වල ගුණාත්මක බව විශාල අඩුවක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම දරාගෙන ලාභ නොලබා හරි මේ ව්‍යාපාරයන් කරගෙන යන්න අපි හැමවෙලාවෙම උත්සාහ කරනවා.
මේ ගැටලු ඇති වෙන්නේ ඩොලර් හිඟය නිසා කියලා අපි පැහැදිලිවම දන්නවා. ඩොලරයට පාවෙන්න දුන්නා නම් මේ ගැටලුවලට විසඳුම් ලැබෙයි කියලා අපි හිතනවා.
නමුත් රජය ඩොලරය පා කිරීමේ තීරණය ගන්නේ නැත්තේ ඇයි කියලා අපි දන්නේ නැහැ. අපිටත් විශාල ඩොලර් සංචිත ප්‍රමාණයක් නෑ. අපිත් තියෙන ඩොලර් ප්‍රමාණය වැය කරලා අමුද්‍රව්‍ය ගෙන්න ගන්නවා.
මේ ප්රශ්නයේ ඇත්ත තත්ත්වය අපි තේරුම් අරගෙන ඉන්නවා.මේක ලෝක ව්‍යවසනයක ප්‍රතිඵලයක්. හැමදේටම රජයට දොස් කියලා වැඩක් නැහැ .නමුත් නිෂ්පාදන සඳහාවත් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා .නිෂ්පාදන සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ගෙන්වන්න බැහැ කීවට අදටත් පිටරටින් ගෙන්වන ඇපල්, දොඩම් ,මිදි වල අඩුවක් නෑ. ඒ ගැන ලොකු කනගාටුවක් තියෙනවා.
කොහොම නමුත් දැන් මේ තියෙන ප්‍රශ්න කඩිනමින් විසඳා නොගත්තොත් උත්සව මාසයේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වගේම ,රසකැවිලි වලත් විශාල හිඟයක් ඇති වෙන්න පුළුවන්.
0 Comments