slbc-piano

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පියානෝ තුනක් අස්ථානගතවීම සම්බන්ධයෙන් මීට මාස 7 කට ඉහතදී ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට 17 වැනිදා දන්වා සිටියේය.



ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් ඉකුත් 2021 ජූලි 1 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තිබූ විදේශීය නිෂ්පාදිත පෞරාණික වටිනාකමකින් යුත් පියානෝ තුනක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංස්ථාවේ නීති නිලධාරී චම්පා සමන්මලී පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 2 හි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ අධිකරණයට දන්වා සිටියේය.



මෙම සිද්ධියේදී සිදුකර ඇති වරද 1982 අංක 12 දරන පොදු දේපළ පනත ප්‍රකාරව සිදුකර ඇති වරදක් බැවින් පුළුල් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.