slbc-rajarata-service

ශ්‍රි ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා  තිබූ වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රයක් සොරා ගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.



ශ්‍රි ලකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල තිබූ එම ජංගම පටිගත කිරීමේ යන්ත්‍රයක් සොරා ගෙන ඇති බව පවසමින් රජරට  සේවයේ ඉංජිනේරු අංශයේ කාර්ය භාර නිලධාරි  මහින්ද  ලාල් විතාන මහතා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති බවද පවසන පොලිසිය මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා අධිකරණයට කරුනු වාර්තා කර සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අත් අඩංගුවට ගන්නා  බවද සඳහන් කලේය.



මේ සම්බන්ධයෙන් දුරකථනයනේ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රජරට සේවයේ කිසිදු නිලධාරියෙකු තමන් දැනුම්වත් කර  නොමැති බවයි. කෙසේ වෙතත්  මෙම සිද්ධිය  සම්බන්ධයෙන්  තමා නොපමාව සොයා බලා නිසි පියවර ගන්නා  බවද සභාපති හඩ්සන් සමරසිංහ තවදුරටත් කීවේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කොළඔ ප්‍රධාන කාර්යාලයේ තිබූ ඉපැරණි මිළ අධික වටිනාකමකින්  යුත් පියානෝවක් අතුරදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින්  විමර්ශන  මෙහෙයවා අධිකරණයට කරුණු වාර්තා කර ඊට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන පසුබිමක  අනුරාධපුර පිහිටි රජරට සේවයේද  සොරා ගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිළි කර තිබීම විශේෂත්වයකි.



උතුරු මැද දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන  මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජයන්ත පුෂ්ප කුමාර  මහතාගෙ අධීක්ෂණය යටතේ  අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්මාල් වි්ජේරත්න මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ගුණතිලක  මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩි දුර  විමර්ශන සිදු කරයි.