starlinkk-elon-musk

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන එලෝන් මස්ක්ගේ SpaceX සමාගම යටත් ක්‍රියාත්මක STARLINK චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතිය මගින් පසුගියදා කක්ෂගත කෙරුණු චන්ද්‍රිකා 49න් 40ක් පෘථිවි වායුගෝලයේදී විනාශ වීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි 01දා එම සමාගමට අයත් Falcon 9 රොකට්ටුවක් ආධාරයෙන් මෙම චන්ද්‍රිකා 49 පෘථිවි කක්ෂය වෙත රැගෙන යාම සිදුවිය.

එහෙත් එම අවස්ථාවේදී ඇති වූ භූචුම්භක කුණාටුවක් හේතුවෙන් එම චන්ද්‍රිකා පෘථිවි කක්ෂයේ සැලසුම් කළ නියමිත ස්ථානය මත සාර්ථකව ස්ථාපිත කිරීමේ නොහැකියාවක් මතුව තිබේ. එහිදී සමාගම උපරිමව මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීමට උත්සාහ දරා ඇති නමුත් එය අසාර්ථක වී ඇත. ඒ අනුව එම චන්ද්‍රිකා 40 පෘථිවිය වෙත ආපසු කඩා වැටෙනු ඇති බවත්, ඒවා පෘථිවි වායුගෝලයේදී ගිනිගෙන විනාශ වනු ඇති බවත් SpaceX සමාගම සඳහන් කර සිටියි. කෙසේ වෙතත් මෙය එලෝන් මස්ක් ගේ  STARLINK වැඩසටහන වෙත එල්ල වන ප්‍රභල පහරක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අද වනවිට SpaceX සමාගමේ මෙම STARLINK ව්‍යාපෘතිය හරහා පෘථිවි කක්ෂය වෙත චන්ද්‍රිකා 2,000කට ආසන්න සංඛ්‍යාවක් පිටත් කර හැර තිබේ.

එය චන්ද්‍රිකා 12,000ක් බවට පත්කිරීම සමාගමේ සැලසුම වී තිබේ. මෙම චන්ද්‍රිකා යොදාගනිමින් පෘතුවියේ සංනිවේදන පහසුකම් නොමැති දුෂ්කර ස්ථාන වෙත පහසු අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ළගා කරදීම අරමුණ වී තිබේ.